ක්‍රිකට් පිටියේ නිහඬ වමත් කසකරුවා “ගිමදු”

2486

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන තුනක් දිනා ඇත. පළමු වැන්න 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියයි. දෙවැන්න 2014 දී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි. තෙවැන්න වූයේ 2018 වසරේ දි ගිමදු ලක්රු මැල්කම්ගේ නායකත්වයෙන් යුත් විස්සයි විස්ස ශ්‍රවණාබාධිත ක්‍රිකට් තරගාවලියයි. 

මේ අතරින් වඩාත් කතා බහට කතාවට ලක් වෙන්නේ 1996 දී සහ 2014 දී ලත් ජයග්‍රහණය ගැන ය. 2018 ලත් ජයග්‍රහණය ගැන එදා කතා කළ ද, අද වන විට ඒ ගැන කතා නොකරන තරම් ය. මේ ක්‍රීඩකයන් සේ ම එම ජයග්‍රහණය ද නිහඬ වී ඇති සේ ය. ඒ නිහඬ බව බිඳීමට ThePapare.com අපි ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ගිමදු ලක්රු මැල්කම් හමුවීමට ගියෙමු. 

“ගොඩක් සතුටුයි. අපි හදවතින් එකා වගේ සෙල්ලම් කළා. ආඩම්බරයි” මේ ශ්‍රවණාබාධිත කණ්ඩායම එදා ලත්  ජයග්‍රහණය ගැන අද ඇසූ කල ගිමදු පපුවට අත තබමින් පැවසූ දේ ය. ගිමදුට යන්තමින් වචන හැසිරවිය හැකි ය. ඔහු හා කතා කිරීමේ දී ඇස් ඉවතට ගත නොහැක. දෙඅත්, ඉරියව් පමණක් නොවේ දැස් ද ඔහු කතා කිරීමට උපයෝගී කර ගනී. ගිමඳුගේ මවත්, පියාත් ඔහු හා කතා කිරීමට අපට සහාය වූහ. 

ගිමදුගේ පියා ටෙක්සි මැල්කම් ය. ජාතික කඩදාසි සංස්ථාවේ සේවය කළ ඔහු එම ආයතනය රාජ්‍ය තීරණයක් මත වසා දැමූ කල ත්‍රීරෝද රථයකින් මගීන් එහා මෙහා ගෙන යෑම තම ජීවිකාව කර ගත්තේය. අම්මා, ප්‍රියානි හේමලතා ගෘහණියක් ලෙසින් කටයුතු කරන්නීය. ගමිදුට වැඩිමල් සහෝදරයෙක් සහ සහෝදරියක් ද සිටී. අයියා ජමිදු මැල්කම් දැනට විදෙස්ගතව සිටින අතර ඔහු පාසල් කාලයේ සාජන් ධුරය දක්වා උසස් වූ කැඩට් ක්‍රීඩකයෙකි. අක්කා, චමෝදි කෞෂල්‍යා මැල්කම් දැනට පුද්ගලික ආයතනයක සේවය කරන අතර පාසල් කාලයේ දී ජාතික මට්ටම දක්වා පැමිණි පැසිපන්දු ක්‍රීඩිකාවකි. එමෙන්ම විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව ලෙසින් මලල ක්‍රීඩා කෙලිබිමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවකි. 

ගිමඳු, මව, පියා සහ සහෝදරිය සමඟ

“පුතාට මේ ආබාධිත බව තියෙන්නේ උපතේ දී ම. පුතා ලැබෙන්න ඉන්න කොට මට පැපොල රෝගය හැදුණා. ඒ නිසා මේ තත්ත්වයට පත් වුනා කියල තමයි වෛද්‍යවරුන් පැවසුවේ. පුතා සාමාන්‍ය පරිදි ඉපදුණා. දණගානකම්ම අපට මේ ගැන හැඟීමක් තිබුණෙ නැහැ. මගේ අම්මට තමයි මේ ගැන මුලින්ම වැටහෙන්නේ. අම්මා කිව්වා පුතාගෙ කණ ඇහෙන්නෙ නැතිව වගේ තියෙනවා බලන්න කියලා. පුතාගෙ තාත්ත කැබිනට් එකේ වීදුරුවට තට්ටු කරමින් පුතාගෙ ඉරියව් බලා හිටියා. පුතා කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ” මේ ලෝකයක් දිනූ පුතෙක්ගේ මවක් ඔහුගේ උප්පත්තියත් ඊට පසුව වූ නස්පැත්තියත් ගැන පැවසූ දේ ය. 

“මම ඒ දවස්වල කඩදාසි සංස්ථාවේ රස්සාව කළා. සතියකට දෙකකට සැරයක් තමයි ගෙදර ආවේ. අපි පුතාව පෙන්නන්න පුළුවන් හැම තැනකටම පෙන්නුවා. ඊට පස්සේ රත්මලාන අඳ ගොළු බිහිරි විද්‍යාලයේ වෛද්‍ය අංශයේ ද උපදෙස් ගත්තා. පුතාට තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් බවත්, ඒක ඉයර් ෆෝන් එකක් පාවිච්චි කිරීමෙන් සුව කළ හැකි බවටත් පැවසුවා” ගිමදුගේ පියා පැවසුවේ ය. 

අධික මුදලකින් යුත් එම යන්ත්‍ර ගිමදු වෙත ලබා දුන්න ද එය නිතර පැලඳීම ගිමදු ප්‍රතික්ෂේප කළේය. එය පැලඳි කල ගිමදු අසාමාන්‍ය ලෙස හැසිරෙන බැව් දෙමාපියෝ පැවසූහ. එය ඔහුට රිස්සුවේ නැත. එම තත්ත්වය මඟ හැරීමට ගිමදුගේ නිවැසියන් නිතර ගිමදුව කතාවට අල්ලා ගත්ත ද ගිමදු හැකි සෑම විටකම කළේ අම්බලන්ගොඩ, හෙප්පුමුල්ල වෙරළේ හෝ ඉඩ තිබෙන තැනක කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාවට ගමේ කොල්ලෝ කුරුට්ටන් සමඟ සහභාගී වීම ය.  

ගමිදුට ගමෙන් ලැබූ පිළිගැනීම.jpg

“පුතා පාසල් වයසට ආවට පස්සේ අපි, අක්කත් අයියත් ගිය පාසලට පුතාගේ ඇප්ලිකේෂන් එකක් දැම්මා. මමත් ගියේ ඒ පාසලටමයි. ඒත් විදුහල්පතිතුමාත් ආදි ශිෂ්‍ය සංගමයත් මේ ඇප්ලිකේෂන් එක ප්‍රතික්ෂේප කරනවා. ඒ පුතා ආබාධිත බව පවසමින්. නමුත් ඒ වෙද්දිත් අපිට රත්මලාන අඳ ගොළු බිහිරි පාසල ලිපියක් ලබා දීල තිබුණා පුතාව සාමාන්‍ය පාසලකට ඇතුළත් කරන්න කියලා. ඒකවත් ඒ විදුහල්පතිවරයා ගණන් ගත්තේ නැහැ. අපි අධිකරණයට ගියා. මානව හිමිකම් එකට ගියා. අන්තිමට අපි නඩුව දිනුවා. ඒත් විදුහල්පතිවරයා අධිකරණ තීරණය ද මඟ හරිමින් පුතාව විශේෂ අධ්‍යාපනය සඳහා සුදුසු යැයි පවසමින් ඒකට ගන්නම් යැයි පැවැසුවා. අපි ඒක විතරක් නෙමේ, අපිට හිමි විය යුතු වන්දිය ද ගත්තේ නැහැ. පුතාව වෙනත් පාසලකට දැම්මා” මේ වැදූ මවකගේ කඳුළු කතාව ය. ඇය මේ කතා කරන්නේ තමන් ද ඉගෙන ගත් තම වැඩිමල් දූ දරුවන් ද ඉගෙන ගත් පාසලෙන් විශේෂිත වූ තම පුතාට සැලකූ ආකාරය ගැන ය. “අපි ඔවුන්ට එරෙහිව නඩු කිව්වා. එතැනටම පුතා දැම්මොත්, පුතාට විවිධ අතවරවලට මුහුණ දෙන්න වෙයි කියලා හිතුණා” මව එකල වූ තම අනියත බිය ගැන පැවසුවේ එලෙසිනි.

ගිමදුගේ කුඩා කල පාසල වන්නේ වතුගෙදර සිරි අභයතිස්ස කනිෂ්ඨ විද්‍යාලය ය. මේ කුඩා පාසල ගිමදුට එතරම් ම සිත් ගන්නේ නැත. අප ඔහුගෙන් ඒ ඇයි දැයි විමසූවෙමු. “ක්‍රිකට් නැහැ” ගිමදු, සිහින්ව සිනා සෙමින් අතින් සංඥා කරමින් පැවසුවේය. 

ගිමදුගේ පාසල් ගමන එතරම් ම සාරසුබාවට සිදු කෙරුණේ නැත. ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට ය. සිරි අභයතිස්සෙන් පැමිණි හැටියේම ගෙදරින් කට්ටි පැන ගොස් ක්‍රිකට් ගසන්නට ගිමදු ගමේ ක්‍රිකට් නඩේට වැටුණේය. මවටත් පියාටත් හොරෙන් මේ දේ සිදු වේ යැයි ගිමදු සිතූව ද, මවත් පියාත් ගිමදුගේ එම ගමන් ගැන දැනුවත් ව සිටිය හ. සෙවිල්ලෙන් පසු වුහ. 

“පුතාව ඒ ගමන්වලින් වළක්වන්න අපි උත්සාහ කළේ නැහැ. එයා වැඩි වැඩියෙන් යහළු මිත්‍රයන් සමග කතා බහ කරනවා දකින්නයි අපි කැමති වුනේ. එතකොට හරි පුතාගේ තත්ත්වය යහපත් වෙයි කියලා අපිට හිතුණා” ගිමදුගේ මව පැවසුවා ය. මේ නිදහසත් සමඟින් ගිමදුගේ ලෝකය ක්‍රිකට්ම විය.

“පුතා මුලින් ම ලෙදර් බෝල ක්‍රිකට් ගහන්නේ අම්බලන්ගොඩ සිංහ ක්‍රිකට් සමාජයේ. එතැනින් තමයි බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් යන්නේ. ඒ තනිකරම ක්‍රිකට් ගහන්න තිබුණ ආසාව නිසා. පුතා සිද්ධාර්තෙන් අවුට් වෙනතුරුම ක්‍රිකට් ගැහුවා. ඊට පස්සෙ තමයි ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩයමට යොමු වෙන්නේ” ගිමදුගේ පියා ද නැවත වතාවක්  අප හා කතාවට එක්වෙමින් පැවසුවේය.

ගිමදු ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමට එක් වී නොබෝ දිනකින්ම එහි නායකත්වයට ද පත් වෙන්නේය. ඒ අනුව සහභාගී වූ ශ්‍රවණාබාධිත ලෝක කුසලාන තරගාවලියේ දී තරග හතකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග හයක්ම ජය ගන්නේ දකුණු අප්‍රිකාව වෙතින් පමණක් පරාජය වෙමිනි. ගිමදු තරගාවලියේ තරග තුනක වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට ද පත් වෙන්නේ ය. 

මේ තොරතුරු පවස විට අප ගිමදු දෙස බැලුවෙමු. ගිමදු ඇඟිලි හතරක් අත්ලට තද කරගනිමින් මහපැටඟිල්ල ඔසවමින් “සතුටුයි” යැයි පැවසුවේය. එය වචන දහසක පිළිතුරකි. 

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූයේ ජයලත් අපෝන්සු මහතා ය. ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් පැවති පුහුණුවීම්වල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් උෂාන්ත ගුණරත්න මහතා ද ඒ සඳහා යොමු කරන ලදි. 

“ගිමදු හොඳ වමත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. එයා හොඳ වේගෙකින් පන්දුවට පහර දුන්නා. හොඳ ස්පිනර් කෙනෙක්. ඒ වගේම හොඳ ෆීල්ඩින්. කොතැන ඉඳගෙන වුනත් විකට් එකට ඒම් කරල ගහන්න පුළුවන් කෙනෙක්. ඉන්දියාවේ විචාරකයෝ පවා කිවුවේ සනත් ජයසූරිය නැවත ක්‍රීඩා පිටියට ආව වගේ කියල. ඒ තරමටම ගිමදු කාගෙත් අවධානය දිනා ගත්තා. අපිට අනාගතයේ දී බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයෙක්” ගිමදු ගැන උෂාන්ත ගුණරත්න මහතාගේ සහතිකය ඒ ආකාරයෙනි.

ලෝක කුසලානය දිනා ගත් පසු ශ්‍රවණාබාධිත කණ්ඩායම මෙතෙක් සහභාගී වී ඇත්තේ එක් තරගාවලියකට පමණි. ඒ මෙරට දී පැවති ඉන්දියාව සමඟ තරගාවලියයි. එම තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරගයක් ද විය. එක්දින තරගාවලිය 2-1ක් ලෙසිනුත් විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙසිනුත් ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී ගිමදුගේ දක්ෂතා එම තරගාවලියන් හී ජයග්‍රහණය සඳහා හේතු වී ඇත.

තවත් විශේෂාංග ලිපි:

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රවණාබාධිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට යෝජනා වී තිබුණ ද එය Covid-19 තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමා ඇත. “දුකයි. අපි ටැලන්ට් පිට හිටියේ.” ගිමදු වමත මුහුණ දක්වා ඔසවමින් අත්මිට මොලවා පවසයි.  

“පුතාගෙ කණ්ඩායමේ හම්බන්තොට ළමයෙක්ට සජිත් ප්‍රේමදාස මහත්තයා මොරටුවෙන් ගෙයක් දීල තිබුණා. කාලයක් ඒකෙ නතර වෙලා පුහුණුවීම්වලට ගියා. ඒත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ ආරක්ෂක හමුදාවන් නිතර නිතර ඒ ගෙවල් පරීක්ෂා කළා. පුතාවත් අවස්ථා ගණනාවක දී ප්‍රශ්න කරල තිබුණා. ඒක ඒ ගෙදර අයටත් කරදරයක් නිසා පුතා ගෙදර ආවා. ගෙදර ඉඳල තමයි ඊට පස්සේ පුහුණුවීම්වලට ගියේ. ඒක හරි දුෂ්කරයි” ගිමදුගේ පියා පැවසුවේ ය.

ගිමදු මේ වන විට උෂාන්ත ගුණරත්න මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුත් පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ද එක් වී සිටින්නේය. නමුත් Covid-19 තත්ත්වය හමුවේ එම තරගාවලියේ ද පුහුණුවීම් කටයුතු ද මේ දිනවල හරිහැටි සිදු කෙරෙන්නේ නැත. එසේ වූවත් ඔහු ලැබෙන අවස්ථාවක දී හැකි ආකාරයෙන් පුහුණුවීම් කටයුතු සිදු කරන්නේය.

“පුතාගේ එකම ආසාව ක්‍රිකට්ම විතරයි. ක්‍රිකට් නිසාම අධ්‍යාපනය අමතක කළා. අන්තිමට සාමාන්‍ය පෙළ විභාගෙන් පාස් වුනේ ඉංග්‍රීසි විතරයි. හොඳට කොම්පියුටර් දැනුම තියෙනවා. ඒත් රස්සාවකට යන්න කැමති නෑ. පුතා කියන්නෙ පුළුවන් කාලයක් ක්‍රිකට් ගහනව කියලයි. කවද හරි ක්‍රිකට්වලින් සමුගන්නෙත් හොඳට නම තියෙද්දි කියලත් කියනවා. ඉතිං අපිත් අපිට පුළුවන් විදිහට පුතාගෙ ගමනට උදව් කරනවා” ගිමදුගේ පියා පැවැසුවේ ඔහු දෙස බලමිනි.

ගිමදු එම කියමන සනාථ කරන්නේ නැවත අත මිට මොලවමිනි. “වයසට ගිහින් වැඩක් නැහැ. නිදා ගන්නවා” ගිමදු අඩු වචනවලින් සංඥා දක්වමින් පවසන්නේ බැරි කාලයේ ක්‍රිකට් ගහන එකේ තේරුමක් නැති බවත් ඊට කලින් ඉවත් වීම සුදුසු බවත් ය.

ලෝක ශූරතාව දිනා ගනිමින්

ගිමදුට ක්‍රිකට් පිළිබඳව ඇත්තේ ඉතා හොඳ දැනීමකි. අපූරු මතකයකි. අපේ සාකච්ඡාවේ දී ඕස්ට්‍රේලියාව හා සමඟ පැවති ලෝක කුසලාන තරගයේ දී කඩුලු 3ක දී ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා තිබිය දී එම කණ්ඩායම පාලනය කළ අයුරුත් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වෙමින් තිබිය දී ජයග්‍රහණය දක්වා ගෙන ගිය අයුරුත් ගිමදු ඉතා ආසාවෙන් කැඩිච්ච වචනවලින් පැවසුවේ ය. (සමාවෙන්න, මට එය වචනයෙන් විස්තර කළ නොහැකිය. ඒ අපුරුව මාගේ වචනවලින් ඔබට පැවසීමෙන් එහි අලංකාරත්වයක් අති වෙන්නේ නැත.)

“මට ඇහෙනවා අඩුයි. කතා කරන්න අමාරුයි. ඒ වුනාට ක්‍රිකට් පුළුවන්. කප් එක ගෙනාවා. තව එකක් ගේන්න ඕන. (ගිමදු මේ කියන්නේ පන්දුවාර 50 ශ්‍රවණාබාධිත ලෝක ක්‍රිකට් තරගාවලිය ගැනය) ඊට පස්සේ ශ්‍රී ලංකා ගහන්න ඕන” මේ ගිමදුගේ අනාගත බලාපොරොත්තු ය. 

ලෝකයක් දිනා, රටට කීර්තියක් ලබා දුන් මේ නිහඬ ක්‍රීඩකයාගේ බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com අපගේ ද ප්‍රාර්ථනාවයි.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<