ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි!

677

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද (10) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළ යුතු කරුණු කිහිපයක් උල්ලංඝනය කර තිබෙන බව ප්‍රකාශ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

සාමාජිකයෙකු ලෙස ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව පාලනය කිරීම, එහි නියාමනයට හෝ පරිපාලනයට රජයේ කිසිඳු මැදිහත් වීමක් නොවන බව තහවුරු කිරීම යන කරුණු උල්ලංඝනය කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම අත්හිටවීමට අදාළ කොන්දේසි හෝ ඉදිරි කටයුතු පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති අතර එම තොරතුරු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (10) සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වෙනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලැබූ පරාජය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි පීඩනයක් එල්ල වන්නට වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් ද පත් කිරීමට කටයුතු කළා.

එමෙන්ම ක්‍රිකට් ආයතනයේ පාලනය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී දැඩි කතාබහක් ද ඇති වූ අතර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සියල්ල ඉල්ලා අස් විය යුතු බවට ද එහි යෝජනාවක් සම්මත වී තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<