පුහුණු තරගයේ දී මෙන්ඩිස්ගෙන් ශතකයක්; කුසල්ට ආබාධයක්?

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

1699

මේ වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා සූදානම් වන ශ්‍රී  ලංකා සංචිතය මේ වන විට පල්ලෙකැලේ පුහුණු කඳවුරක් සඳහා සහභාගී වී සිටින අතර එය අවසන් කිරීමට පෙර දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගය අද (20) ආරම්භ විය.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 22 දෙනෙකු සහභාගී වන අතර එම සංචිතය පසුගිය 13 වැනිදා සිට ජෛව ආරක්‍ෂිත පරිසරයකට (Bio-Secure’ environment) ඇතුළත් කරමින් සිය පුහුණුවීම් ආරම්භ කළේය.

අද තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 318ක් වාර්තා කරගත්තේ පන්දුවාර 68කුත් පන්දු 2ක් අවසානයේ දීයි.

තවත් ක්‍රිකට් පුවත්:

කුසල් ජනිත් පෙරේරා සහ ඕෂධ ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවන ලදි. වමතින් පිතිකරණයේ නිරත වන කුසල් ජනිත් පෙරේරා ලකුණු 27ක් ලබාගෙන සිටිය දී පාදයේ මස්පිඩු ඇදීමක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගිය අතර ඔහු මේ මස 26 වැනිදා ආරම්භ වන LPL තරගාවලියේ මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරීමට සූදානමින් සිටියි.

කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ලෙස සිය වගකීම ඉටු කළ කුසල් මෙන්ඩිස් පන්දු 125ක් තුල 4 පහර 12ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ශතකය ලබා ගත් අතර පළමු වරට ශ්‍රී ලංකා ජාතික සංචිතයක් සඳහා කැඳවීම් ලද 21 හැවිරිදි සන්තුෂ් ගුණතිලක මෙම තරගයේ දී නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේ 4 පහර 8 සිය ලකුණු ගිණුම සඳහා ඇතුළත් කර ගනිමිනි.

ඊට අමතරව නායකත්වයේ පිතිකරණය නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 70ක් තුල ලකුණු 57ක් ලබාගෙන පිටියෙන් ඉවත්ව ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ දැවී යමිනි. එම ඉනිම සඳහා 4 පහර 8ක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා කඩුලු 3ක් දවා ගන්නා විට, වේගපන්දු යවන ක්‍රීඩකයින් වන කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීර යන දෙදෙනා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායම පළමු ඉනිම – 318/10 (68.2): කුසල් මෙන්ඩිස් 100 (Rtd), සන්තුෂ් ගුණතිලක 58 (Rtd), දිනේෂ් චන්දිමාල් 57, දිල්රුවන් පෙරේරා කඩුලු 3, දුෂ්මන්ත චමීර කඩුලු 2, කසුන් රාජිත කඩුලු 2.

තරගය හෙට (21) දෙවන සහ අවසන් දිනයටත් පැවැත්වෙන අතර එහි තොරතුරුත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<