මාතොට දඟයාගේ කඩුලු 500යේ වික්‍රමාන්විතය

1236

මාතර පුරවරයට අලංකාරයක් එක් කරන නිල්වලා නදිය, මුහුද හා හා වෙන මාතොට, ඉතිහාස කතාන්දර විශාල ප්‍රමාණයක් දරා සිටින්නීය. එකී ඉතිහාස කතාන්දර ගොන්න අතරට මාතොට දඟ කොල්ලෙක්ගේ කතාවකුත් පසුගිය දා එකතු විය.

ඒ පළමු පෙළ ක්‍රිකට් දිවියේ කඩුලු 500ක් ලබා ගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගොන්නට එකතු වෙමිනි. ඔහු නමින් චානක කොමසාරු ය. වමතින් දඟපන්දු යවන මේ 34 හැවිරිදි ක්‍රීඩකයා තමන්ගේ අතීතය හා වර්තමානය ගලපා ගත් ආකාරය මාතොට තරමටම බරසාරය. ඒ තුළ කතා කළ යුතු, සටහන් තැබිය යුතු දේ බොහෝ ය. එබැවින් සයිබර් අවකාශයේ ක්‍රීඩා සටහන් තබමින් සුවිශේෂීත්වයට පත්ව සිටින ThePapare.com ඔහුගේ කතාව මෙලෙස ගොනු කරන්නට තීරණය කළේය.

පැතුම් හසරංගගෙන් ඉන්ද්‍රජාලික ලකුණු දහසක්

ඔහුගේ ඉනිම් ඉන්ද්‍රජාලික ය. ජුගුප්ත්සාජනක ය. ඇදහිය නොහැකි නමුත්, තියුණු ය. කෙනෙක් කීව ද දකින තුරු එකී ඉනිම් විශ්වාස කළ නොහැකි තරමේය…

“ඒක සුවිශේෂී තරගයක් කර ගැනීමේ අරමුණ ඇතිවමයි මම සහභාගී වුනේ. මගේ ඉලක්කය වුනේ පළමු ඉනිමේ ම කඩුලු පන්සීයේ සීමාව පසු කරන්න. ඒකට මට අවශ්‍ය වෙලා තිබුණේ කඩුලු 4ක් පමණයි. ඒත් මට ඒ පළමු ඉනිමේ ලබා ගන්න පුළුවන් වුනේ කඩුලු 3ක් පමණයි.” කොමසාරු පැවැසුවේය.

කඩුලු 500ට දෙවැනි ඉනිමේ දී ඔහුට ඇවැසි වූයේ තවත් එක් කඩුල්ලක් පමණි. තම සහෝදර පිතිකරුවන් පිටියේ ලකුණු රැස් කරද්දී ඔහු පසු වූයේ නොඉවසිල්ලෙනි. මේ නොඉවසිල්ල කොතෙක්ද කියනවා නම් ඔහු තමන්ගේ කණ්ඩායම පිතිකරණයේ යෙදෙද්දී පැති විකට්ටුවට ගොස් පන්දු යැවීම පුහුණු විය.
දෙවැනි ඉනිම ආරම්භ වී තෙවැනි පන්දු වාරයේ දී කොමසාරුගේ බලාපොරොත්තුව සඵල වන්නේය. ඔහුගේ ගොදුර බවට පත්වන්නේ වමත් ආරම්භක පිතිකරු මාලිංග අමරසිංහ ය. මාතොටින් කොළඹට පැමිණ පළමු ක්‍රීඩා සමාජ නවාතැන බවට පත් වූ එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව එකී සුවිශේෂී සැමරුම් කඩුල්ල ලබා ගැනීමට හැකි වීම ද සුවිශේෂී ය.

“කඩුලු 500ක් ලබා ගැනීම ගැන තියෙන්නේ පුදුම තරමේ සතුටක්. මේ දක්වා පැමිණි ගමන ම කටුකයි. විශාල ලෙස කැපවීම් කළා. මහන්සි වුනා. ඒකෙ ප්‍රතිඵලය දැන් මගේ ඉදිරියේ තියෙනවා. මා දවාගත් පළමු කඩුල්ලේ සිටම 500 වැනි කඩුල්ල දක්වාම පැමිණි ගමනේ දී මාත් සමඟ ක්‍රීඩා කළ සෑම ක්‍රීඩකයෙක්ටම ස්තූතිවන්ත වෙනවා. මොකද මේ පිටුපස ඔවුන්ගේ මහන්සියත් සැඟවිලා තියෙනවා.” කොමසාරු ඒ සුවිශේෂී සැමරුම සිහිපත් කළේ එළෙසිනි.

පාසල් ක්‍රිකට් පිටිය…

චානක කොමසාරුගේ ක්‍රිකට් දිවිය ඇරඹෙන්නේ 1993 වසරේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමෙනි. මේ ගමන 2003 වසරේ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය දක්වා ම රැගෙන එන්නේ ය.

පාසලේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුව සඳහා කොමසාරු පිවිසෙන්නේ ක්‍රිකට් ඇට්ටරයෙක් ලෙසින් ගමේ දිනා සිටි නමත් සමඟිනි. පාසල් කාලයෙන් පසුව ගමේ කොල්ලෝ කුරුට්ටෝ සමඟින් කරන සෙල්ලමේ ඉවරයක් නැති තැන මේ ගැටයාගේ මව්පියන් වන නිහාල් කොමසාරු සහ ශාන්ති චන්ද්‍රලතා එක්ව ආර්. බී. වීරප්පුලි නැමති පවුලේ හිතවතාට ඔහුගේ ක්‍රිකට් අනාගතය ඔපමට්ටම් කිරීමට බාර දෙන්නේ ය.

ඒ අනුව සාන්ත තෝමස් වයස අවුරුදු 13න් පහළ සංචිතයට එක් වෙන කොමසාරු පුහුණුවට පැමිණි වසරේ දී ම පාසල් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබන්නේ ය. එතැන දී ඔහුගේ පුහුණුකරු වන්නේ සිසිර වීරසිංහ මහතා ය.

“වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කළ අවුරුදු දෙකේ දී ම අපි අවසාන මහා තරගය දක්වා පැමිණියා. නමුත් අපිට ඒ තරග දිනා ගන්න බැරි වුනා. ඒක අපිට ලොකුවට දැණුනා.”

සාන්ත තෝමසුවන් සෑම වයස් කාණ්ඩයක්ම නියෝජනය කරන්නේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගාවලියයි. එබැවින් එහි තරගකාරීත්වය තියුණු ය. එකල කොළඹින් පිට පළාත්වලින් පළමු කොටසේ ක්‍රීඩා කළ පාසල් කණ්ඩායම් අතුරින් පිට පළාත් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ මේ කණ්ඩායමට ලැබුණේ සුවිශේෂී පිළිගැනීමකි.

මේ පිළිගැනීම වඩාත් තරගකාරී කිරීමට පෙර කී පුහුණුකරුට අමතරව ජගත් නන්ද කුමාර සහ එස්. එම්. වෛද්‍යරත්න යන මහත්වරුන් ද අපමණ වෙහෙසක් දැරූහ.

එම කාලයේ දී මාතොට පුරවරයේ විවිධ ඉසව්වන් හී දක්ෂයන් වෙනුවෙන් පැවති සම්මාන උළෙලක දී කුඩා කොමසාරුගේ නම ද යෝජනා වී තිබුණි. ඒ 1999 වසරයි. මෙම සම්මාන උළෙලේ සම්මාන ලැබූවෝ සියල්ලෝම මුහුකුරා ගිය වැඩිහිටියෝ ය. එසේ වූව ද මාතොට නැගී එන ක්‍රීඩකයා ලෙසින් රොෂාන් මහානාම අතින් සම්මාන ලැබීමට කොමසාරු සමත් වන්නේ ය. එය එතෙක් මෙතෙක් මාතොට ඉතිහාසයේ අඩු වයසින් එවැනි සම්මානයක් ලැබූ පළමු සේ ම අවසානයා ද වන්නේ කොමසාරු ය.  

”ආදරණීය මැතිව්ස් වෙත ලියා දන්වන වග නම්…”

ආදරණීය මැතිව්ස්, පළමුවෙන්ම ඔබගේ නායකත්වයේ දෙවන ඉනිමට සුබ පතන්නට කැමැත්තෙමි…

“පාසල් කාලයේ සිටම මට ක්‍රීඩා කරන්න ඉතාම හොඳ ක්‍රීඩාංගණ ලැබුණා. ඒ වගේම හොඳ පුහුණුකරුවන් ලැබුණා. ඇත්තටම මගේ මේ ගමනට ඒක ආශිර්වාදයක් වුනා. හොඳ විකට්වල සෙල්ලම් කිරීමට ලැබීම මගේ දක්ෂතා මුවහත් කර ගන්න හොඳ අවස්ථාවක් වුනා. ඒ නිසාම 2001 වසරේ පිට පළාත් දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්න මට අවස්ථාව හිමි වුනා. ඊට අමතරව 2001, 2002 සහ 2003 වසරවල පිට පළාත් දක්ෂතමා පන්දු යවන්නා සම්මානය දිනා ගත්තේ මම.” කොමසාරු ආඩම්බරයෙන් එහෙත් නිහතමානීව තම අතීතය සිහිපත් කළේය.

කොමසාරුගේ මෙම දක්ෂතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක්වීමට ද සුදුසුකමක් වන්නේ ය. ඒ අනුව 2001 වසරේ දී පැවති පාකිස්තාන සංචාරයට ඔහු එකතු වන්නේ ය. ඒ ධම්මික නිරෝෂනගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට සමඟිනි.  

ගිනියම් වන මාතර නගරයට නිල්වලා නදිය සිසිලසක් එක් කළ ද, ගිනියම් වන කොමසාරුගේ ක්‍රිකට් ජීවිතයට සිසිලසක් කිසිදු දිනක එක් වූයේ නැත. ක්‍රිකට් ඒ තරමටම කොමසාරුගේ ජීවිතයට කළ බලපෑම ප්‍රබල ය. මේ ප්‍රබලත්වය කෙසේ ද කියන්නේ නම්, ඔහු පාසල් යන වයසේ දී ම අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියන් ක්‍රීඩා කිරීමට ද ඇරයුම් ලබන්නේ ය.

ඒ අනුව ඔහු පළමුවෙන්ම ක්‍රීඩා කරනු ලබන්නේ මාතර ක්‍රීඩා සමාජයට ය. එම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරගාවලියේ දී ම තරග 6කට සහභාගී වෙමින් කඩුලු 36ක් ලබා ගැනීමට ඔහු සමත් වන්නේ ය. එකී දක්ෂතාවත් සමඟින් ගාල්ල ක්‍රීඩා සමාජයට පිවිසෙන කොමසාරු එහි අවුරුදු 4ක් එක දිගට ක්‍රීඩා කරන්නේ ය. මෙම අවදියේ දී ඔහුගේ පුහුණුකරුවන් ලෙසින් චම්පක රාමනායක, දුමින්ද වික්‍රමසිංහ සහ ධම්මික සුදර්ශන කටයුතු කළහ.

මාතොටින් කොළොම්තොටට…

කොමසාරු මාතොටින් කොළොම්තොටට පිය නගන්නේ දහසක් ප්‍රාර්ථනාවන් පොදි බැද ගෙනය. එය එකල ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බලාපොරොත්තුවකි. කොළඹට එන කොමසාරුගේ නවාතැන වන්නේ ප්‍රබල එන්. එන්. සී. ක්‍රීඩා සමාජයයි. එවකට එන්. සී. සී. කණ්ඩායමේ කුමාර සංගක්කාර, හෂාන් තිලකරත්න, රුවන් කල්පගේ, ලසිත් මාලිංග, උපුල් චන්දන සහ රසල් ආනල්ඩ් වැන්නෝ ද සිටිය හ. පුහුණකරු ලෙසින් කටයුතු කළේ සම්පත් පෙරේරා මහතා ය.

හිතේ හයියත් සමඟින් කොළොම්තොට ට පැමිණිය ද, කොමසාරු මුල් වසර කිහිපය ගත කරන්නේ ඉතා අපහසුවෙනි. ඉන්න හිටින්නට ගිය ද කන්න බොන්නට ගිය ද ප්‍රශ්න ම ය. මාතොට තරමට ඒ සියල්ල නොමැති වූ තැන නැවත කොළඹ දමා ගමට යෑමට සිතුණ වාර ද අපමණ බැව් ය කොමසාරු පවසන්නේ. නමුත් ඒ සියල්ලත් සමඟින් ක්‍රිකට් ආසාව ඉක්කාවක් සේ ඉහළට එසවෙන බැවින් කොමසාරු කොළඹ ම ලැගුම් ගන්නේ ය.

“ඒක හරි අමාරු කාලයක්. කොළඹ වටපිටාවට හුරු වෙන්න ගොඩාක් අපහසු වුනා. මම හිතන්නේ දැනටත් කොළඹ පරිසරය මට නුහුරුයි කියලයි. කොහොම නමුත් ක්‍රිකට් නිසා සියල්ල ඉවසන්න සිදු වුනා. කොළඹට ඇවිත් ක්‍රීඩා කරපු හැම අවුරුද්දකම විකට් 40කට වඩා ගන්න මට හැකි වුනා. මේ නිසාම ඉයන් ඩැනියෙල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංවර්ධිත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙමින් බංග්ලාදේශ සංචාරයට එක් වෙන්නට අවස්ථාව ලැබුණා. ”

අතීතකාමාවර්ජනය – ලසිත් මාලිංග

ඔහු ක්‍රිකට් පිටියට පිවිසි මුල් සමය අපට මතකය. රත්ගම ප්‍රදේශයේ තරුණයෙකු විදුලි සැර වන් පන්දු යවන…

ලැබූ ප්‍රථම අවස්ථාවෙන්ම මතක හිටින යමක් කරන්නට නොහැකි වුව ද, එම සංචාරයේ උණුසුමත් සමඟින් හේමන්ත දේවප්‍රියගේ පුහුණුකාරීත්වයෙන් යුත් ශ්‍රී ලංකා A කණ්ඩායමේ 24 දෙනෙක්ගෙන් යුත් සංචිතයට ද කොමසාරු සුදුසුකම් ලබන්නේ ය. ඒ ඔහුගේ ක්‍රිකට් දිවියේ උච්චතම අවස්ථාවයි. ක්‍රීඩා සමාජ තරගවල පිතිකරුවන් අමාරුවේ දමන පන්දු යවන්නෙක් ලෙසින් ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙන අවදියයි. එම කාලයේ ම එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරමින් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව තරගයක දී තමන්ගේ හොඳම පෞද්ගලික පන්දු යැවීම වූ ලකුණු 28කට කඩුලු 7ක් ද වාර්තා කරමින් දක්ෂතා දැක්වූ අවදියයි.

“ශ්‍රී ලංකා A කණ්ඩායමේ අවසන් 16ට තේරුණත් මට ක්‍රීඩා කිරීමට එකම හෝ තරගයක් ලැබුණේ නැහැ. මේ පිළිබඳව නම් මම ටිකක් කලබල වෙලා හිටියේ. ඒ කලබල ගතිය ටික කාලයක් යන තුරුම තිබුණා. නමුත් මම ගේම අත ඇරියේ නැහැ. ඒකෙම එල්ලිලා හිටියා.  ”

එය ඔහුගේ දක්ෂතා ලැයිස්තුව පරීක්ෂා කිරීමේ දී පෙනි යන්නකි. මේ දක්වා කොමසාරු පළමු පෙළ තරග 137කට ක්‍රීඩා කරමිනි, කඩුලු 500 සීමාව ඉක්ම යන්නේ. ඉනිමක කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා ප්‍රමාණය 32කි. තරගයක කඩුලු 10 බැගින් ලබා ගත් අවස්ථා ප්‍රමාණය 7කි.

ඔහු වරාය අධිකාරිය කණ්ඩායමට සම්බන්ධ වන්නේ මේ අතර ය. ඒ 2011 වසරයි. එම වසරේ දී වරාය අධිකාරිය කණ්ඩායම වෙනුවෙන් කොමසාරු සහභාගී වන පළමු පෙළ Tier B තරගාවලියේ දී ඔහු වසරේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ ය.

එතැන් සිට කොමසාරුගේ ක්‍රිකට් ජීවිතය ගත වෙන්නේ වරාය අධිකාරිය කණ්ඩායම සමඟ ය. කඩුලු 500 කඩඉම පසුකරද්දී ද ඔහුට පළමුවෙන්ම සුබ පැතුම් පතන්නේ වරාය අධිකාරිය කණ්ඩායමේ ක්‍රීඩකයෝ ය. ඔවුහු ඔහුගේ කඩුලු 500 වෙනුවෙන් සව්දිය පිරුවෝය. එය ක්ෂණිකව ගත් තීරණයකි. කොමසාරු ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

“අපි බොහොම සමගිව එකාවගේ ක්‍රීඩා කරනවා. මේ කඩුලු 500ට වඩා මට වටින්නේ මගේ යහළු මිත්‍රත්වය. මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ මා වෙනුවෙන් මේ වගේ පිළිගැනීමක් සංවිධානය වෙනවා කියලා. ඇත්තටම ඒක මගේ ජීවිතයේ මා ලැබූ විශාල පිළිගැනීමක්. ඒ සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වූ සෑම කෙනෙක්ටම මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ මොනදේ ලැබුනත් මට මේ දක්වා රටට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබීම ගැන ඉතාම දුක් වෙනවා. ”

මේ දුක් වීම සර්ව සාධාරණය. අපගේ කතා නායක කොමසාරු කියන මේ අතීත කතාන්දර තුළ කාරණා කටයුතු සිදුවීම සම්බන්ධයෙන් අදටත් ඇත්තේ කුකුසකි. අද ඒ සියල්ල අතීතය හා සැබැඳී අවසන් ය. මේ කතා කරනු ලබන්නේ වර්තමානය හා අනාගතය ගැනය.

කෙසේ වෙතත් මේ කඩුලු 500 කතාන්දරය තුළ ඔහුගේ දක්ෂතා වෙනුවෙන් මග පෙන්වූ විශාල පිරිසක් ඇති බවකි ඔහු පැවසුවේ. ඒ අතුරින් ඉහත නම් සඳහන් කළ පුහුණුකරුවන්ට අමතරව සිසිර හඳුන්ගේ, ඕවන් මතාවෝ, බ්‍රැඩිමන් එදිරිවීර, ලසන්ත ප්‍රසාද් මෙන්ම වර්තමානයේ පුහුණුකරු වන උමේෂ් විජේසිරිවර්ධන ද වෙති.  

ඉතා කටුක එහෙත් ලොවක් ගොඩ නැගිය හැකි කතා ලතාවකි, කතිකාව තුළ ඇත්තේ. චානක කොමසාරු යනු දුක දිනා ජය ගත් ශ්‍රී ලාංකීය ජනතාවගේ හෘද ස්පන්දනයේ කොතැනක හෝ තැන්පත් ව ඇති නමකි. එකී නාමය හිමි මේ නිහතමානී මාතොට කොල්ලාට ThePapare.com සුබ පැතුම් එක් කරනුයේ තවත් කාලයක් ක්‍රිකටි පිටියේ වැජඹෙමින් මාතොට අනන්‍යතාව ලොවට පෙන්වීමට හැකි වේවා යන ප්‍රාර්ථනාව ද සමඟිනි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<