කණ්ඩායම් ක්‍රීඩාවක යෙදීම මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ 7 ක්

2179
7 Benefits of Team Sports international

පාසල් යන වයසේ දරුවන් සමහරෙක් පාසල් යාමට ඉතා මැලි කමක් දක්වයි. පාසල් වාරය මැද නිවාඩුවකින් පසු සමහර දරුවන් නැවත පාසල වෙත යැවීම ඇතැම් දෙමාපියන්ට මහත් හිසරදයක් බවට පත්වන අවස්ථා ද දක්නට ලැබේ. දරුවන් හට පාසල වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීම සඳහා යොදා ගත හැකි ප්‍රධානතම උත්ප්‍රේරකයක් ලෙස ක්‍රීඩාව හඳුන්වා දීමට හැක. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවක නිරත වීම මඟින් එම තත්ත්වය තවදුරටත් යහපත් කර ගැනීමට හැකි වනු ඇත.

පසුගිය ලිපි: ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබර කර ගැනීමට රහස් වට්ටෝරුවක්

ක්‍රීඩාව මඟින් දරුවන්ට විනෝදයක් සහ උද්දීපනයක් සපයනවා පමණක් නොව එමඟින් සහෝදර සිසුන් අතර දැඩි මිත්‍ර සම්බන්ධතාවන් ද ගොඩනැගීමට අවස්තාව උදා කර දෙයි. ක්‍රීඩාවකට සහභාගී වීම මඟින් දරුව‍ෙකුට මැනිය නොහැකි තරම් විනෝදයක් ලබා දෙන අතරම ඔවුන්ගේ ශාරීරික වර්ධනය සහ යෝග්‍යතාව පවත්වාගෙන යාමටත්, සමාජයීය වටිනාකම් සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමටත් මහඟු උපකාරයක් හිමිවෙයි.

කණ්ඩායම් ක්‍රීඩාවක යෙදීම මඟින් දරුවන්ට හිමිවන වාසි කිහිපයක් මෙසේ කරුණු කිහිපයකට ලඝු කොට දැක්විය හැක.

  1. ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට උපකාරී වීම – දරුව‍ෙකු ක්‍රීඩාවක නිරත වීමේදී ඔවුන්ට තම දස්කම් ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්තාව හිමිවේ. එමඟින් ඔවුන් ස්වකීය දස්කම් පිලිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීම මඟින් තමන් කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය කර ගනී. මේ සියලු පාඩම් ඉගෙන ගන්නා අතරතුර තමන් කැමතිම ක්‍රීඩාවක යෙදීම ඔවුන්ව සතුටින් තැබීමටද උපකාරී වේ.
  2. නිරන්තර ව්‍යායාම ලැබීම – වර්තමානයේ බොහෝ දරුවන්ගේ දින චර්යාවේ වැඩි කොටසක් වෙන් වන්නේ රූපවාහිනී, පරිඝණක හෝ ජංගම දුරකථන තිරයක් ඉදිරිපිටයි. එමඟින් ඔවුන්ට අත්දැකීම් ලැබීමේ අවස්තාව මෙන්ම ශරීර සෞඛ්‍යය ද අහිමිව යයි. කණ්ඩායම් ක්‍රීඩාවක නිරතවීම මඟින් දරුවන් හට නිරන්තරයෙන් ව්‍යායාම වල යෙදීමට සිදුවනු ඇත. එමඟින් ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වීම මෙන්ම ශරීරයේ වර්ධනය සහ සෞඛ්‍ය ගැටළු රැසක් නිරාකරණය වීම ද අතිරේක වාසියක් වනු ඇත.
  3. සබඳතා සංවර්ධනය වීම – කණ්ඩායම් ක්‍රීඩාවක යෙදීමේදී දරුවන් තම සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ මෙන්ම පුහුණුකරුවන් සමඟද මිත්‍ර සබඳතා ගොඩ නගා ගනියි. එය දරුවන්ගේ සමාජයීය කුසලතා වර්ධනය සඳහා මෙන්ම සමාජයේ අපේක්ෂා හඳුනා ගැනීම පිලිබඳ පාඩමක් ඉගෙන ගැනීමටද උපකාරී වේ.
  4. අධ්‍යාපනික දක්ෂතා වර්ධනයට උපකාරී වීම – මෑත කාලීන පර්යේෂණ වලට අනුව අනාවරණ වී ඇති කරුණක් වන්නේ ක්‍රීඩාවක නිරත වන සිසුන් ක්‍රීඩාවට යොමු නොවූ සිසුන්ට වඩා අධ්‍යාපනය අතින් ඉදිරියට යාමේ වැඩි නැඹුරුවක් දක්වන බවයි. ඒ සඳහා ප්‍රධානතම සාධකය බවට පත්වන්නේ ක්‍රීඩාව තුලින් දරුවකුට කාල කළමනාකරණයේ ඇති වැදගත්කම සහ විනය පිලිබඳ ලැබෙන පුහුණුවයි.
  5. ජයග්‍රහණය යථාදර්ශනයක් බවට පත් කර ගැනීමේ හැකියාව ලැබීම – පරාජය භාර ගැනීමට ඇති නොහැකියාව බොහෝ දරුවන් මුහුණ දෙන ගැටලුවකි. කණ්ඩායම් ක්‍රීඩාවක නිරත වන දරුවන් හට ජය පරාජය සම සිතින් විඳ දරා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලැබෙන අතරම තම කණ්ඩායම් සගයන්ගේ හැකියාවන් හඳුනා ගනිමින් පොදු ඉලක්කයක් වෙත ගමන් කිරීමේ හැකියාව වර්ධනය වේ.
  6. අන්‍යයන්ට ගරු කිරීම පුහුණු කරයි – කණ්ඩායම් ක්‍රීඩාවකදී තම කණ්ඩායම් සගයන් හට මෙන්ම පුහුණුකරුවන්, විනිසුරුවන් සහ තරග තීරක වරුන් වැනි පලනාධිකාරීන් හටද ගරු කල යුතු බව දරුවන් වටහා ගනී.
  7. පවුලේ කටයුතු සඳහා ඇති දායකත්වය වැඩි කරයි – ක්‍රීඩාවට යොමු වීම මඟින් සුබ සිද්ධියක් සැලසෙන්නේ දරුවන්ට පමණක් නොවේ. දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ට ද දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සමඟ සම්බන්ධ වීම (පුහුණුවීම්/ තරග නැරඹීමට පැමිණීම, ඔවුන්ව දිරිමත් කිරීම) මඟින් පවුලේ එකිනෙකා සමඟ ඇති සම්බන්ධතාව ශක්තිමත් කර ගැනීමේ අවස්තාව හිමිවෙයි.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න