සහන්ගේ ශතකයෙන් මහනුවර දැවැන්ත ලකුණකට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1464

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග අද (4) පල්ලෙකැලේ දී සහ කොළඹ දී දෙවන දිනයටත් ක්‍රියාත්මක වුනා. 

යාපනය සහ මහනුවර

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ අද දිනය නිමාවන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන යාපනය ක්‍රීඩකයින් කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබාගෙන සිටියා.

පළමු දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 243ක් ලබාගෙන සිටි මහනුවර වෙනුවෙන් සුපිරි ශතකයක් ලබා ගැනීමට සහන් ආරච්චිගේ සමත් වුනා. ආරච්චිගේ පන්දු 257ක දී 4 පහර 23ක් එල්ල කරමින් ලකුණු 162ක් ලබා ගත් අතර ඔහුට අගනා සහයක් දුන් කසුන් විදුර ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුනා.

එම ඉනිම් දෙක නිසාවෙන් මහනුවර ක්‍රීඩකයින් හට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ඉලක්කයක් වෙත යාමට හැකියාව ලැබුණු අතර අනතුරුව ඔවුන් සිය ඉනිම අත්හිටුවා යාපනයට පන්දුවට පහර දීමට වරම් ලබා දුන්නා. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක නිපුන් මාලිංග ලකුණු 68කට කඩුලු 3ක් දවා ගත්තා.

මහනුවර පළමු ඉනිම – 503/9d (68): සහන් ආරච්චිගේ 162, කසුන් විදුර 67, ඕෂද ප්‍රනාන්දු 50, ලහිරු උදාර 50, කමිල් මිශාර 35, නිපුන් මාලිංග 3/68.

යාපනය පළමු ඉනිම – (දෙවැනි දිනය අවසානයේ) – 13/0 (7):

දඹුල්ල සහ කොළඹ

තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ ක්‍රීඩකයින් කිසිවෙක් නොදැවී ලකුණු 46ක් ලබාගෙන සිටියා.

21 හැවිරිදි නිපුන් ධනංජය මේ තරගයේ දී සිය මංගල පළමු පෙළ ශතකය ලබාගෙන පන්දු 173ක දී ලකුණු 114ක් ලබා ගන්නට සමත් වුනා. ඔහුගේ එම සටන්කාමී ඉනිම සඳහා 4 පහර 10ක් ඇතුළත් වුනා. ඊට අමතරව කොළඹ ඉනිම සවිමත් කළ අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 85*ක් සහ රොෂේන් සිල්වා ලකුණු 57ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළා.

දඹුල්ල පළමු ඉනිම – 277 (76.3): අශාන් ප්‍රියන්ජන් 61, චමිඳු විජේසිංහ 54*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, ලහිරු සමරකෝන් 35, මලින්ද පුෂ්පකුමාර 35, ලක්ෂිත රසාංජන 3/78, කසුන් රාජිත 2/32, නිසල තාරක 2/57.

කොළඹ පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 381/5 (100) නිපුන් ධනංජය 114, අශේන් බණ්ඩාර 85*, රොෂේන් සිල්වා 57, මලින්ද පුෂ්පකුමාර 2/89.

දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ මේ තරග සියල්ලම හෙට (5) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<