පැතුම් හසරංගගෙන් ඉන්ද්‍රජාලික ලකුණු දහසක්

1694

ඔහුගේ ඉනිම් ඉන්ද්‍රජාලික ය. ජුගුප්ත්සාජනක ය. ඇදහිය නොහැකි නමුත්, තියුණු ය. කෙනෙක් කීව ද දකින තුරු එකී ඉනිම් විශ්වාස කළ නොහැකි තරමේය. මැජික් යෂ්ටිය රැගෙන ක්‍රිකට් පිටියට පිවිසෙන්නෝ නැත. නමුත් සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර සේ ම ලසිත් මාලිංග ද අතීතයේ දී වරින් වර ක්‍රිකට් පිටියේ මැජික් පෙන්වූවෝය. අපි ඊට, පසු කාලයේ මැජික් යැයි නොකීවෙමු. සැබැවින්ම ඒ ඔවුන්ගේ දක්ෂතාම නිසාය. එවැන්නක වර්තමාන කියවීමකි මේ.

අතීතකාමාවර්ජනය – ලසිත් මාලිංග

ඔහු ක්‍රිකට් පිටියට පිවිසි මුල් සමය අපට මතකය. රත්ගම ප්‍රදේශයේ තරුණයෙකු විදුලි සැර වන්..

ThePapare.com මේ සටහන තැබෙන්නේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ඉදිරි පෙළ දකුණත් පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායමේ ස්ථාවරව සිටින පැතුම් හසරංග, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ 2017/18 ක්‍රිකට් තරග වාරයේ ලකුණු දහස වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීම නිමිත්තෙනි.

පැතුම් හසරංග ගැන පළමු ඔත්තුව දුන්නේ විද්‍යාලෝකයේ ආදි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක සංජීව සමරකෝන් ය.  තරග 6ක දී ලකුණු 860ක් පැතුම්ගේ පිත්තෙන් රැස් කරගෙන ඇති බැව් ය, ඔත්තුව. ඒ පසුගිය සිකුරාදා (05දා) ය.  එක් වරම විශ්වාස කළ නොහැකි වූ බැවින් මෙන්ම යම් කඩඉමක් අවශ්‍ය වූ බැවින් ද ලියුම්කරු (මම) පැවැසූවේ ලකුණු දහසට යනතෙක් ඉවසා සිටිමු යැයි ය.

ඔත්තුව දී ගත වූයේ දින දෙකකි. ලියුම්කරුගේ දෑස් ඉදිරියේම පැතුම් පිත්තෙන් පෙළහර පාන්නට විය. සැබැවින්ම ඒ ඉන්ද්‍රජාලික ඉනිමකි. විශ්වාස කළ නොහැකි නමුත් දෑස් ඉදිරියේ ජීවමාන වූ ඉනිමකි. පිටිය සිසාරා යන පහරවලින් කිසිදු අපහසුවකින් තොරව ලකුණු රැස් කළ පැතුම් තම කඩඉම ඉතාම පහසුවෙන් පසුකර ගියේය. ඒ විනාඩි 174ක් පමණක් පිටියේ රැඳී සිටිමිනි.

දෙහිවල ශ්‍රාස්තානන්ද විද්‍යාලය සමඟ රත්ගම දී ජනවාරි 07දා ඇරඹි තරගයේ පැයක පමාවකින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පැතුම් පන්දු 38කින් තම පළමු අර්ධ ශතකය වාර්තා කළේය. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟිනි. අනතුරුව ශතකය තෙක් වූ තම දෙවැනි ලකුණු 50 තවත් පන්දු 66ක දී වාර්තා කළේය. එතැන් සිට පැතුම්ට ලකුණු දහසට අවශ්‍ය වූයේ තවත් ලකුණු 40ක් පමණි. තමන්ගේ ඉනිමේ 127 වැනි පන්දුවට මුහුණ දුන් පැතුම් ලකුණු දහස වාර්තා කළේය.

“ලකුණු දහසක් දක්වා යන බලාපොරොත්තුවකට වඩා තිබුණේ කළ යුතුයි කියන අධිෂ්ඨානය. පසුගිය තරගාවලියේ දී ලකුණු 735ක් ලබා ගත්තා. ඒ වයස අවුරුදු 19න් පහළ මගේ පළමු අවුරුද්ද. මේ ක්‍රීඩා කරන්නේ දෙවැනි අවුරුද්ද. අවසාන අවුරුද්ද. පාසල් ක්‍රිකට් පිටියේ දී මේ වගේ දෙයක් කිරීමට ගැන සතුටු වෙනවා.” පැතුම් ලකුණු දහස වාර්තා කිරීමෙන් අනතුරුව පැවසුවේය.

පන්දු යැවීමේ සැකය මතුවුනේ මුරලිට විතර ද?

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූයේ මුරලිටම පමණ ද? නැත…

පැතුම් මෙම දක්ෂතාව දැක්වූයේ තම 7 වැනි තරගයට සහභාගී වෙමිනි. පන්දුවට පහර දුන් ඉනිම් සංඛ්‍යාව 10කි. මේ ලකුණු දහස තුළ ත්‍රිත්ව ශතකයක්, ශතක 4ක් සහ අර්ධ ශතක 2ක් අන්තර් ගත ය. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 115.78කි. ඇතැම් විට මෙය පාසල් තරග වාර්තාවක් ද විය හැකිය. ලියුම්කරු දන්නා පාසල් තරග ඉතිහාසය තුළ මෑත කාලීනව මෙතරම් අඩු තරග සහ අඩු ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු දහසක් වාර්තා කළ කිසිවෙක් නැත.

පැතුම්ගේ ලකුණු සංග්‍රාමයේ හොඳම ඉනිම වන්නේ බලන්ගොඩ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 300යි. ඔහුගේ එම ඉනිම පන්දු 156ක දී වාර්තා වූ අතර හතරේ පහර 23ක් සහ හයේ පහර 24ක් ඊට ඇතුලත් විය.

දෙවැනි තැන ගන්නේ ලකුණු දහස වාර්තා කළ දෙහිවල ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලයට එරෙහිව රැස් කළ ලකුණු 182යි. එම ඉනිම පන්දු 144කින් වාර්තා වූයේ අලංකාර හතරේ පහර 14ක් සහ යෝධ හයේ පහර 15ක් සමඟිනි. අනතුරුව මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 104කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 10ක් සමඟින් රැස් කළ ලකුණු 151 වේ.

මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව රැස් කළ ලකුණු 129ත්, කොච්චිකඩේ ලොයෙලා විද්‍යාලයට එරෙහිව රැස් කළ ලකුණු 112ත් ඔහුගේ ශතක ගොන්නේ වැදගත් කඩඉම් වේ. ලබාගත් අර්ධ ශතක දෙක මතුගම සාන්ත මේරි විද්‍යාලය (59) සහ ලොයෙලා විද්‍යාලයට එරෙහිව දෙවැනි ඉනිමේ දී (60) වාර්තා වී ඇත.

පැතුම් සහභාගී වූ තරග අතුරින් පිතිකරුවෙක් ලෙසින් අසාර්ථක වී ඇත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට පමණි. එම තරගයේ දී ඔහු ඉනිම් දෙකේ දී පිළිවෙළින් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 24ක් සහ 22ක් ලෙසිනි. තරග ලැයිස්තුවේ රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ජනාධිපති විද්‍යාලය ඉදිරියේ දෙවැනි ඉනිමේ රැස්කළ ලකුණු 3යි.

“තරගයෙන් තරගයට ලකුණු අතරට එන කොට මට මා කෙරෙහි විශාල විශ්වාසයක් ඇති වුනා. විශේෂයෙන්ම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම ලබා දුන් සහයෝගය ඉතාම වටිනවා. ඒ වගේම විද්‍යාලයීය විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතා, ක්‍රිකට් භාර ආචාර්ය එල්. ආර්. මනතුංග මහතා සහ පුහුණුකරු තුසිත කාරියවසම් මහතාට ඇතුළු පාසලේ සෑම කෙනෙක්ගෙන්ම ලැබුණ සහයෝගය විශේෂයි.” පැතුම් පැවසුවේය.

උපන් ගම වන හබරාදූවේ සිට පැතුම් ගාල්ල විද්‍යාලෝකයට පිවිසෙන්නේම ක්‍රිකට් ක්‍රීඩා කිරීමම ඉලක්ක කර ගනිමිනි. අහංගම රෝහණ මහා විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමෙන් ක්‍රිකට් අත්පොත් තැබූ පැතුම් විද්‍යාලෝකයේ දී ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ වයස අවුරුදු 17න් පහළ අවසන් වසරේ දී ය.

“අම්මත් තාත්තත් මගේ ක්‍රිකට් ක්‍රීඩාවට මටත් වඩා මහන්සි වෙනවා. තාත්ත සුළු රැකියාවක් කරන්නේ. දැනට අපේ පවුලේ ඉන්නෙ අක්කත් මමත් විතරයි. හමුදාවේ සිටි අයිය මීට වසර කිහිපයකට පෙර නැති වුනා. ඒක තමයි අපේ ජීවිතයේ අපි නොහිතපුම දේ. අයියගේ මරණෙ අපේ ජීවිතවලට ගොඩක් බලපෑවා. අවුරුදු කිහිපයක්ම කිසිදු දෙයක් වෙන්නෙ නැතිව ගතවෙලා ගියා. නමුත් දැන් අපි තරමක් ජීවිතය පාලනය කරගෙන ජීවත් වෙනවා. කොතරම් අඩු පාඩු තිබුනත් අම්මත්, තාත්තත් මගේ ක්‍රිකට් වෙනුවෙන් වන කැපවීම නතර කරන්නේ නැහැ. මමත් මගේ ක්‍රිකට් ජීවිතය නැති කර ගන්නේ නැහැ. මෙතැනින් පස්සේ මම කොතැනට ද යන්නේ කියල තීරණය කරල නැහැ. නමුත් පුළුවන් කාලයක් ක්‍රිකට් ගහවි.” පැතුම් පැවසුවේය.

පැතුම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සේ ම අධ්‍යාපනයෙන් ද ඉදිරියෙන් පසු වෙන්නේය. දැනට විද්‍යාලෝකයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරන පැතුම්ගේ බලාපොරොත්තුව මහන්සියෙන් එය ද ජය ගැනීමය. මේ ජයග්‍රහණ සියල්ලේ දී ඔහු පසුපසින් බොහෝ දෙනෙක් වන බැව් ද ඒ සියලුම දෙනාට කෘතවේදී වන බැව් ද පැතුම් පැවැසුවේය.

“ශ්‍රී ලංකාවේ නියම ක්‍රිකට් ඉස්සරහදී බලා ගන්න පුළුවන්” හතුරුසිංහ

1980 ගණන්වල දී ක්ලයිව් ලොයිඩ් යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රීඩා කළ කැලිප්සෝ..

මේ ඉන්ද්‍රජාලික පිතිකරුවාගේ ක්‍රිකට් ජීවිතය සේ ම සාමාන්‍ය ජීවිතය ද අභියෝග රැසකින් සමන්විත ය. එහෙත් ඒ සියල්ල ඉතාම නිහතමානීව පිළිගනිමින් ඊට සාර්ථකව මුහුණ දීම ඔහුගේ අධිෂ්ඨානය වී තිබේ.

පැතුම් මේ වන විට රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1042කි. ආරංචිය අනුව නම් ඔවුන්ට තවත් මුහුණ දීමට තරග කිහිපයක්ම තිබේ. එමෙන්ම මෙම තරග වාරය අවසන් වීමට තවත් මාස කිහිපයක්ම ඉතිරිව ඇත. ඒ අනුව අපිට පැතුම්ගෙන් තවත් ඉන්ද්‍රජාලික ඉනිම් කිහිපයක්ම බලාපොරොත්තු විය හැකිය.

පැතුම්ගේ ඉන්ද්‍රජාලික පිතිකරණය තුළ හතරේ පහර 89ක් සහ හයේ පහර 60ක් ඇතුලත් ය. ඔහු ලකුණු දහස වාර්තා කරන්නේ පන්දු 828කිනි. ලකුණු 1042 සඳහා වැය වී ඇත්තේ පන්දු 845කි. එක් පන්දුවකට ලබා ඇති සාමාන්‍ය 1.23කි. මේ දත්ත මෙතෙක් පාසල් ක්‍රිකට් පිටියේ වාර්තා වූ බවක් අප අසා නැත. එබැවින් මෙම ලකුණු දහසට, දහසකට වඩා වැඩි වටිනාකමක් ඇත.

ඒ අඩු තරග සංඛ්‍යාවක්, අඩු ඉනිම් සංඛ්‍යාවක්, අඩු පන්දු සංඛ්‍යාවක්, වැඩි හතරේ සහ හයේ පහර සංඛ්‍යාවක් මෙන්ම ඉතාම කෙටි කාලයක් යන විවිධ ඉසව් ස්පර්ශ කරන්නේ නම්ය. ඒ සියල්ල පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් වෙත බාර කරමු.

පැතුම්ගේ මේ ඉන්ද්‍රජාලික පිතිහරඹයන් තවත් දිගු කාලයක් පවතීවා යැයි ThePapare.com හී ප්‍රාර්ථනාවයි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<