පාකිස්තානු A කණ්ඩායම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා A කණ්ඩායමට වැස්සෙන් සහනයක්

291
Sri Lanka A v Pakistan A 2nd test day 3

පාකිස්තානු A  කණ්ඩායමේ සුපිරි පිතිකරණය හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා A  කණ්ඩායමේ ප්‍රධානම ගැලවුම්කරුවා බවට මේ වනවිට පත්ව තිබෙන්නේ වර්ෂාවයි. එංගලන්තයේ වොරස්ටර්හි පැවැත්වෙන මේ තරගයේ 3වන දිනයේ වැඩි කොටසක් වර්ෂාව හේතුවෙන් අහිමි වී ගියත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමටත් ශ්‍රී ලංකා A  පිතිකරුවන්ට දැඩි සටනක් දීමට සිදුව තිබේ.

පසුගිය ලිපි: පන්දුවෙන් ලද වාසියට පාකිස්තානු A පිතිකරුවෝ පොහොර දමති

වර්ෂාව හේතුවෙන් පැය 5කට අධික කාලයක ප්‍රමාදයකින් පසු ඊයේ 3වන දිනට තරගය ආරම්භ කරන විට පාකිස්තානු A  කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 370ක් ලබා සිටින ලදි. සවස් කාලයේදී පිටියට පිවිසි පාකිස්තානුවන් උත්සාහ කළේ අහිමිවී ගිය පන්දුවාර සංඛ්‍යාවේ අවාසිය මගහරවාගෙන ඉනිමක ජයග්‍රහණයක් සඳහා මග විවර කර ගැනීමටයි. ශ්‍රී ලංකා A පන්දු යවන්නන්ට එලව එලවා පහරදුන් ඔවුන් පන්දුවාර 11.4ක් තුළ තවත් ලකුණු 91ක් රැස්කළේ තම පළමු ඉනිමේ වාසිය ලකුණු 211ක් දක්වා ඉහලට ගෙන යමිනි.

ඊයේ තරගය ආරම්භ කරන විට ලකුණු 56ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳීසිටි මොහොමඩ් හසන් තම ඉනිම ලකුණු 73ක් දක්වා ඉහළ දමා ගත් පසු ලහිරු ගමගේ යැවූ වයිඩ් පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරදීමට යාමේදී අවාසනාවන්ත ලෙස ස්ටම්ප් කිරීමකට හසුව දැවී යන ලදි. 3වන දිනය තුළ ශ්‍රී ලංකා A පන්දු යවන්නන් හිමිකරගත් එකම සාර්ථකත්වය එයයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශාලතම භීතිකාව බවට පත් වුයේ, කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ටත් හිසරදයක් වූ හසන් අලී ය. 20-20 තරගයක් සිහිගන්වන ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ අලී, පන්දු 37කදී නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තේ හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් ක්‍රීඩාංගනය වර්ණවත් කරමිනි. ඔහුගේ සහයට පැමිණි අසිසුල්ලාද, හයේ පහර 2ක් එල්ල කිරීමට සමත් විය.

පසුගිය ලිපි: පාකිස්තානු A පන්දු යවන්නෝ පාලනය අතට ගනිති

හසන් අලී පාකිස්තානු A පළමු ඉනිමේ සිවුවන අර්ධ ශතකය වාර්තා කිරීමත් සමග ලකුණු පුවරුව 461/8ක් ලෙස සටහන්ව තිබියදී ඉනිම අත්හිටුවන්නට බාබර් අසාම් තීරණය කළේය. ඒ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 210ක ඉලක්කයක් ලබා දෙමිනුයි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ආරම්භක සබඳතාවක් ගොඩනගන්නට ධනංජය ද සිල්වා සහ උදාර ජයසුන්දර සමත් විය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 62ක්. හතරේ පහර 5ක් සමග ලකුණු 25ක් ලබා සිටි ජයසුන්දර නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්, මේ සබඳතාව බිඳ දමන්නට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් නවාස් සමත් විය.

නවාස් කඩතොළු කළ ශ්‍රී ලංකා A දෙවන ඉනිමට අසිසුල්ලා තවත් ඉරි තැලීමක් එක් කළේ මහේල උඩවත්තගේ ඉනිම ලකුණු 8කට සීමා කරමිනුයි. උඩවත්තගේ දැවීයාමෙන් පසු, Night-Watchman ලෙස පිටියට පිවිසි ලහිරු ගමගේ සමග එක්ව දිනයේ ඉතිරි පන්දු 8 බේරාගන්නට ධනංජය ද සිල්වා සමත් විය. ධනංජය නොදැවී ලකුණු 44ක් ලබා සිටින්නේ හතරේ පහර 8ක් ද සමගිනි.

ඊයේ දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 83ක් ලබා සිටි ශ්‍රී ලංකා A කණ්ඩායමට, පාකිස්තානු A කණ්ඩායමට නැවත පිත්ත අතට දීම සඳහාද තවත් ලකුණු 128ක් ලබා ගතයුතු වෙයි.

කෙසේ වෙතත් අද දිනයේ කාලගුණ අනාවැකියට අනුව, ක්‍රීඩා කිරීමට නියමිත කාලය තුළ වොරස්ටර් ප්‍රදේශය අවට පවතින්නේ වලාකුළු සහිත වැසිබර තත්ත්වයකි. වේගපන්දු යවන්නන්ගේ සිහිනයක් බඳු මෙවන් කාලගුණයක් තුළ පාකිස්තානු A වේග පන්දු අභියෝගයෙන් බේරීම ශ්‍රී ලංකා A පිතිකරුවන්ට එතරම් පහසු නොවනු ඇත. මේ තරගයේ පරාජයෙන් ගැලවී, නිල නොවන ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා තරගයේ අවසන් දිනය වන අද(13) දවසේදීත් වර්ෂාවෙන් උදව්වක් ලැබෙනු ඇතැයි, ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වනු ඇති බව නම් නොඅනුමානය.

ශ්‍රී ලංකා A පළමු ඉනිම – සියල්ලන් දැවී 250 (69.5) රොෂේන් සිල්වා 57, උදාර ජයසුන්දර 53, අශාන් ප්‍රියන්ජන් 36, නිරෝෂන් දික්වැල්ල 35,  මහේල උඩවත්ත 26, මිර් හම්සා 4/62, හසන් අලි 3/70, අසිසුල්ලා 2/43

පාකිස්තානු A පළමු ඉනිම – 461/8d (117) සෞද් ශාකීල් 86, මොහොමඩ් හසන් 73, මොහොමඩ් නවාස් 52, හසන් අලි 50*, ශාදබ් ඛාන් 48, ධනංජය ද සිල්වා 2/28, විශ්ව ප්‍රනාන්දු 2/104, ලහිරු ගමගේ 2/115

ශ්‍රී ලංකා A දෙවන ඉනිම – 83/2 (21) ධනංජය ද සිල්වා 44, උදාර ජයසුන්දර 25, මහේල උඩවත්ත 8, මොහොමඩ් නවාස් 1/11, අසිසුල්ලා 1/23

මේ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්තානු A පළමු ඉනිමට වඩා තවත් ලකුණු 128ක් පසුපසින් සිටින්නේ කඩුලු 8ක් පමණක් අතැතිවයි.

අද (13) තරගයේ සිවු වන සහ අවසන් දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට