පන්දුවෙන් ලද වාසියට පාකිස්තානු A පිතිකරුවෝ පොහොර දමති

348

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග එංගලන්තයේ වොරස්ටර්හි පැවැත්වෙන දෙවන නිළ නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දු යවන්නන් ලබාදුන් වාසිය තවදුරටත් වර්ධනය කරන්නට පාකිස්තානු A පිතිකරුවන් තරගයේ දෙවන දිනය වූ ඊයේ (11) සමත් විය. ඒ පළමු ඉනිමේ ලකුණු එකතුව කඩුලු 7කට ලකුණු 370ක් දක්වා ඉහල දමමිනි. ටෙස්ට් ක්‍රිකට් තරගයකදී හොඳ ලකුණු පුවරුවක අඩිතාලම වන දිගු සබඳතා රැසක් ගොඩනැගීම, ඔවුන්ගේ සාර්ථකත්වයට මග පෑදීය.

පසුගිය ලිපි: පාකිස්තානු A පන්දු යවන්නෝ පාලනය අතට ගනිති

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට පාකිස්තානු A පළමු ඉනිම දැක්වුයේ 47/1ක් ලෙසිනි. දෙවන කඩුල්ලේ සබඳතාව ශතකයක් දක්වා වර්ධනය කරන්නට සෞඩ් ශාකීල් සහ ජාහිඩ් අලි සමත් විය. ශාකීල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ පිටිය සිසාරා එල්ල කල හතරේ පහර 11ක් ද ඇතුළුව ලකුණු 86ක් ලබා ගනිමිනි. ජාහිඩ් අලි ලකුණු 43යි. අසිත ප්‍රනාන්දු විසින් මෙම සබඳතාව බිඳ දැමුවත් නායක බාබර් අසාම්, සෞඩ් ශාකීල් සමග අර්ධ ශතක සබඳතාවකට දායක විය. අසාම් ලකුණු 31ක් රැස් කළේ හතරේ පහර 5ක් සමගිනි.

ඊයේ දිනයේදී ලකුණු 15 සීමාව පසු කිරීමට නොහැකි වූ එකම පාකිස්තානු A  පිතිකරුවා වුයේ අබ්දුල් රෙහ්මාන් මුසාමිල්ය. නමුත් ඔහුද තම අන්තය ආරක්ෂා කරගනිමින් 5 වන කඩුල්ල සඳහා ලකුණු 42ක සබඳතාවකට දායක වීම පාකිස්තානුවන්ගේ පිතිකරණයේ තිබූ උසස් මට්ටමට සාක්ෂි සපයයි.

මුල්පෙළින් ලබාදුන් දායකත්වය අපතේ යාමට ඉඩ නොදුන් පාකිස්තානු A අංක 6, 7, 8 පිතිකරුවන්ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් විය. 6වන කඩුල්ලට ලකුණු 65කුත්, 7 වන කඩුල්ලට තරගයේ දෙවන හොඳම සබඳතාව ලෙස ලකුණු 83කුත් එක්වුණේ පාකිස්තානු A කණ්ඩායමේ පළමු ඉනිමේ වාසියද අංක තුනේ සංඛ්‍යාවක් වර්ධනය කරමිනි.

මොහොමඩ් නවාස් හතරේ පහර 6ක් සමග ලකුණු 52ක් ලබා ගනිද්දී, ශාදබ් ඛාන් හතරේ පහර 7ක් සමගින් වේගවත් ලකුණු 48ක් රැස් කළේය. අර්ධ ශතක සබඳතා 2කට දායකත්වය සැපයු කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් හසන් ලකුණු 57ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

පන්දු යැවීමේදී,විශ්ව ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර අසිත ප්‍රනාන්දු, ලහිරු ගමගේ සහ සචිත් පතිරණ එක් කඩුල්ල බැගින් බිඳ හෙලීය.

මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායමට පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කරගැනීමට හැකිවුයේ ලකුණු 250ක් පමණි. ශ්‍රී ලංකා A ඉනිමටම වාර්තා වුයේ එක් අර්ධ ශතක සබඳතාවක් පමණක් වීම පිතිකරණයේ අසාර්ථකත්වයට පැහැදිලි සාක්ෂියකි.

මේ අනුව ඊයේ දිනයට තරගය නතර කරන විට පාකිස්තානු A කණ්ඩායම පළමු ඉනිමට තවත් කඩුලු 3ක් අතැතිව ශ්‍රී ලංකා A පළමු ඉනිමට වඩා ලකුණු 120ක් ඉදිරියෙන් පසුවිය.

ශ්‍රී ලංකා A පළමු ඉනිම – සියල්ලන් දැවී 250 (69.5) රොෂේන් සිල්වා 57, උදාර ජයසුන්දර 53, අශාන් ප්‍රියන්ජන් 36, නිරෝෂන් දික්වැල්ල 35,  මහේල උඩවත්ත 26, මිර් හම්සා 4/62, හසන් අලි 3/70, අසිසුල්ලා 2/43

පාකිස්තානු A පළමු ඉනිම – 370/7 (105.2) සෞද් ශාකීල් 86, මොහොමඩ් හසන් 57*, මොහොමඩ් නවාස් 52, ශාදබ් ඛාන් 48, ජාහිඩ් අලි 43, ධනංජය ද සිල්වා 2/28, විශ්ව ප්‍රනාන්දු 2/73

අද (12) තරගයේ 3වන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට