පාකිස්තානු A පන්දු යවන්නෝ පාලනය අතට ගනිති

427
Udara and Roshen

රොෂේන් සිල්වා සහ උදාර ජයසුන්දර අර්ධ ශතක දෙකකින් දායකත්වය ලබා දුන්නත් ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාලනය සියතට ගන්නට පාකිස්තානු A පන්දු යවන්නන් සමත් විය. එංගලන්තයේ වොරස්ටර් හී පැවැත්වෙන මේ තරගයේ පළමු දිනය තුලදීම ශ්‍රී ලංකා A පළමු ඉනිම අවසන් වුනේ ලකුණු 250.

පසුගිය ලිපි: අනාගත පන්දුකරණය පාකිස්තානුවන් අසරණ කරමින් ජයගනී

කාසියේ වාසිය දිනාගත් අශාන් ප්‍රියන්ජන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මාස දෙකක් ජාතික කණ්ඩායමේ බංකුවට වී සිට A කණ්ඩායමට එක්වූ ධනංජය ද සිල්වා ආරම්භක කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 5කටයි.

උදාර ජයසුන්දර, මහේල උඩවත්ත සහ රොෂේන් සිල්වා සමග එක්ව අගනා සබඳතා දෙකකට දායක විය. හතරේ පහර 6ක් සමග ලකුණු 26ක් රැස් කළ උඩවත්ත සහ ජයසුන්දර අතර සබඳතාව දැක්වුණේ ලකුණු 41ක් ලෙසයි. සිල්වා සමග ලකුණු 58ක සබඳතාවකටද දායක වූ ජයසුන්දර තම 28වන පළමු පෙළ අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසු ක්‍රීඩාගාරය වෙත හැරී ගියේ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මිර් හම්සා එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.

තම පිතිකරණ හැකියාව යළිත් වරක් ප්‍රදර්ශනය කළ රොෂේන් සිල්වා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. ඔහු පන්දු 125 තුල ලකුණු 57ක් රැස් කරන ලදී. නායක අශාන් ප්‍රියන්ජන් සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පිලිවෙලින් ලකුණු 36ක් සහ 35ක් ලබා ගත් නමුත් සාර්ථක ආරම්භය දිගු ඉනිම බවට පත් කරගන්නට ඔවුන් දෙදෙනාම අසමත් විය.

ශ්‍රී ලංකා A පිළ වරෙක කඩුලු 4කට ලකුණු 206ක් ලබා සිටියත් අවසන් කඩුලු 6 ලකුණු 44ක් තුල බිඳ දමන්නට පාකිස්තානු A පන්දු යවන්නන් සමත් විය. මිර් හම්සා ලකුණු 62කට කඩුලු 4ක් දවා ගනිද්දී හසන් අලී සහ අසිසුල්ලා අතරේ කඩුලු 5ක අයිතිය බෙදී යන ලදි.

පාකිස්තානු A පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස සර්ජීල් ඛාන් පළමු පන්දු වාරයේදීම දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේය. නමුත් දිනයේ ඉතිරි කොටස තුල පරීක්ෂාකාරීව පිතිහරඹයේ යෙදුනු ජාහිඩ් අලි සහ සෞඩ් ශාකීල් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නට සමත් විය. මේ අනුව පළමු දිනය අවසන් වන විට පාකිස්තානු A  ලකුණු පුවරුව දැක්වුණේ එක් කඩුල්ලකට ලකුණු 47ක් ලෙසිනි. 

අද (11) තරගයේ දෙවන දිනයයි.

ශ්‍රී ලංකා A පළමු ඉනිම – සියල්ලන් දැවී 250 (69.5) රොෂේන් සිල්වා 57, උදාර ජයසුන්දර 53, අශාන් ප්‍රියන්ජන් 36, නිරෝෂන් දික්වැල්ල 35,  මහේල උඩවත්ත 26, මිර් හම්සා 4/62, හසන් අලි 3/70, අසිසුල්ලා 2/43

පාකිස්තානු A පළමු ඉනිම – 47/1 (16) සෞද් ශාකීල් 25*, ජාහිඩ් අලි 15*, විශ්ව ප්‍රනාන්දු 1/20

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට