ටැමිල් යූනියන්, ACE කැපිටල්, කෝල්ට්ස් සහ සෙබස්තියනයිට්ස් ජයග්‍රහණ අතරට

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

696

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2023 අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරග දිනය අද (30) ක්‍රියාත්මක වුනා.

එහි දී ටැමිල් යූනියන්, ACE කැපිටල්, කෝල්ට්ස් සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.

ටැමිල් යූනියන් සහ SSC

කාසියේ වාසිය දිනා ගත් ටැමිල් ‍යූනියන් පළමුවෙන් පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන් වුනු SSC කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගන්නට සමත් වුනු අතර එහි දී කණ්ඩායම් නායක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 47ක් තුල 4 පහර 7ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් වේගවත් ලකුණු 73ක් ලබා ගන්නට සමත් වුනා.

ක්‍රිෂාන් සංජුල නොදැවී ලකුණු 64*ක් ලබා ගත් අතර අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 31ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් ‍යූනියන් ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත් වුනා. එහි දී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන කමේෂ් නිර්මාල් සමඟ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26ක් තුල ලකුණු 61ක සබඳතාවයක් ගොඩනැංවූවා.

පරණවිතාන පන්දු 24ක් තුල ප්‍රවේගකාරී ලකුණු 56ක් ලබා ගන්නට සමත් වුනේ 4 පහර 5ක් සහ 6 පහර 4ක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගන්නට සමත් වුවත් SSC පරාජය ජයග්‍රහණයක් බවට හරවන්නට ජයසූරිය හට හැකි වුනේ නැහැ.

SSC – 178/1 (20): අවිශ්ක ප්‍රනාන්දු 73, ක්‍රිෂාන් සංජුල 64*, ශෙවෝන් ඩැනියෙල් 31

ටැමිල් ‍යූනියන් – 182/6 (19.5): නවෝද් පරණවිතාන 56, රවිඳු ප්‍රනාන්දු 30, ඉසුරු උදාන 28*, ප්‍රභාත් ජයසූරිය 3/17

ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ ACE කැපිටල්

කාසියේ වාසිය කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයට හිමි වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් Ace කැපිටල් කඩුලු 7ක් දැවී ලකුණු 190ක් ලබා ගන්නට සමත් වුනා.

අර්ධ ශතකයක් වාර්තා කළ තනුක දාබරේ ලකුණු 56කට දැවී ගියා. රවිඳු රත්නායක නොදැවී ලකුණු 35යි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිලංක අවුවඩ් කඩුලු 4ක් දවා ගන්නට සමත් වුනා.

>>Photos – Ace Capital CC vs Kurunegala YCC | Major Clubs T20 Tournament 2023<<

ලකුණු 191ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය කුරුණෑගල යොවුන් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි. එහි දී කඩුලු රකින පිතිකරු අමේෂ් තෙන්නකෝන් ලකුණු 30ක් ද, නවීන් ප්‍රනාන්දු ලකුණු 28ක් ද, සචින්ත පීරිස් ලකුණු 21ක් ද ලබා ගන්නට සමත් වුනා.

ACE කැපිටල් – 190/7 (20): තනුක දාබරේ 56, රවිඳු රත්නායක 35*, රොෂාන් ජයතිස්ස 28, සිතාර ගිම්හාන 27, දිලංක අවුවඩ් 4/36

කුරුණෑගල යොවුන් – 128/6 (20): අමේෂ් තෙන්නකෝන් 30, නවීන් ප්‍රනාන්දු 28, සචින්ත පීරිස් 21

Ace කැපිටල් කණ්ඩායමට ලකුණු 62ක ජයක්

සෙබස්තියනයිට්ස් සහ රාගම ක්‍රිකට් සමාජය

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සෙබස්තියනයිට්ස් කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගන්නට සමත් වුනා. නොදැවී ක්‍රීඩා කළ සචිත ජයතිලක ලකුණු 63ක් ලබා ගත් අතර ඉසිවර දිසානායක ලකුණු 55ක් ලබා ගන්නා විට, සන්තුෂ් ගුණතිලක කඩුලු 2ක් දවා ගන්නට සමත් වුනා.

පළමු තරගය ද පරාජය වීම නිසා රාගම කණ්ඩායම ලකුණු 157 ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනේ දැඩි පීඩනයක් ද සමඟයි. අවසානයේ දී ඔවුන්ට කඩුලු 9ක් දැවී ලබා ගන්නට හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

සමින්ද ප්‍රනාන්දු ලකුණු 31ක් හා බිනුර ප්‍රනාන්දු ලකුණු 20ක් වාර්තා කළ නමුත් අනෙක් පිතිකරුවන්ට සාර්ථක වීමට හැකි වුනේ නැහැ. සෙබස්තියනයිට්ස් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චරිත් රාජපක්ෂ කඩුලු 4ක් දවා ගත්තා.

සෙබස්තියනයිට්ස් – 156/6 (20): සචිත ජයතිලක 63*, ඉසිවර දිසානායක 55, සන්තුෂ් ගුණතිලක 2/36

රාගම – 140/9 (20): සමින්ද ප්‍රනාන්දු 31, බිනුර ප්‍රනාන්දු 20, චරිත් රාජපක්ෂ 4/30, චාමිකර එදිරිසිංහ 3/12

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට ලකුණු 14ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

කාසියේ වාසිය දිනා ගත් බ්ලූම්ෆීල්ඩ් පළමුවෙන් පන්දුවට පහර දුන් අතර කඩුලු 9ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. අශාන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් වාර්තා කළ අතර සඳුන් වීරක්කොඩි ලකුණු 45ක් ද, නායක නිපුන් කරුණානායක ලකුණු 36ක් ලබා ගන්නට සමත් වුනා.

පන්දු යැවීමේ දී උදිත මධුෂාන්, ධනංජය ලක්ෂාන්, නායක අකිල ධනංජය සහ මුදිත ලක්ෂාන් කඩුලු 2 බැගින් දවාගෙන බ්ලූම්ෆීල්ඩ් ඉනිම අඩපණ කළා.

>>Photos – Colts CC vs Bloomfield C & AC | Major Clubs T20 Tournament 2023<<

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් කණ්ඩායම ඉනිමේ අවසාන පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර ඒ වන විට කඩුලු 7ක් දැවී ගොස් තිබුණා. අවශ්‍යම මොහොතේ ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුණු ජෙහාන් ඩැනියෙල් ලකුණු 82ක් ලබා ගත් අතර යශෝධ ලංකා ලකුණු 45ක් ලබා ගන්නා ලදි. ලහිරු මධුශංක හා මනෙල්කර් ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

බ්ලූම්ෆීල්ඩ් – 171/9 (20): අශාන් ප්‍රනාන්දු 50, සඳුන් වීරක්කොඩි 45, නිපුන් කරුණානායක 36, උදිත් මධුෂාන් 2/21, මුදිත ලක්ෂාන් 2/23, ධනංජය ලක්ෂාන් 2/27, අකිල ධනංජය 2/36

කෝල්ට්ස්  – 172/7 (20): ජෙහාන් ඩැනියෙල් 82, යශෝධ ලංකා 45, ලහිරු මධුශංක 2/32, මනෙල්කර් ද සිල්වා 2/43

කෝල්ට්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<