සහාය දිවීමට ගොස් දුර පැනීමෙන් රන් දිනූ දිරිය කෙල්ල

213

පානදුර සුමංගල බාලිකාවෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි සාරංගි සිල්වා නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වූයේ මීටර් 100 කාන්තා සහාය දිවීමේ ඉසව්ව සඳහා ය. එම ඉසව්වට අමතරව, ආදේශක ක්‍රීඩිකාවක් ලෙසින් දුර පැනීමේ කාන්තා ඉසව්වට ද සහභාගී වූ ඇය එම ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මේ ඇය වෙනුවෙන් ThePapare.com තබන සටහනකි. 

උණ ගැනුණ මලල ක්‍රීඩා පිටිය සුවපත් කළ පදක්කම් වෙද්දු

දකුණු ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙසින් නම් ලද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග නිමා වූයේ..

සාරංගීගේ ක්‍රීඩා දිවිය ආරම්භ වන්නේ ද අනෙක් බොහෝ දෙනෙක්ගේ මෙන්ම කුඩා අවදියේමයි. එවකට යුද හමුදාවේ සේවය කළ පියාගේ ආභාෂය ඈ වෙත ලැබෙන්නට ඇති. ඇය සුමංග බාලිකාවේ නිවාසාන්තර තරගවලට සහභාගී වෙමින් පෑ දක්ෂතා නිසා වැඩි කාලයක් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට සිදු වුනා. එහෙත් සාරංගිගේ මේ ක්‍රීඩා පිටියේ කරක් ගැසීම ගැන නිවැසියන්ගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. 

දැඩි විනයක් සහිත නිවසේ වැඩි වගකීමක් පැවරී තිබුණේ සාරංගිගේ මවට. සාරංගිට වැඩිමල් සහෝදරයෙක් ද සිටියා. ඔහු නිවසේ නිහඬ චරිතයක් වෙද්දී සාරංගි නිවසේ දඟ මල්ලක් වූවා. එහෙත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද ඇය දැක්වූයේ සමත්කමක්. මේ නිසා පාසලේ සියලු ගුරුවරුන්ගේ ද ආදරය දිනා ගැනීමට ඇය සමත් වුනා. අධ්‍යාපන කටයුතුවලටත් ක්‍රීඩා කටයුතුවලටත් එකසේ දක්ෂතා දැක්වූ සාරංගි පාසලේ ජනප්‍රිය චරිතයක් වුනා.

සිය පවුල සමඟ

පාසලේ ජනප්‍රිය චරිතයත් වූ සාරංගි පාසලේ දී ගත කළේ නිවසේ ගත කරන ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. ඇය පාසලේ නිහඬ චරිතයක් වුනා. බැලූ බැල්මටම ඇය ක්‍රීඩා කරන්නියක් සේ පිළිඹිබු වූයේ නැහැ. ඇතැම් විට නිවසේ වූ දැඩි විනය ඊට හේතු වෙන්නට ඇති. 

සාරංගි, අධ්‍යාපනයේ සේ ම ක්‍රීඩාවේ ද දැක්වූ දක්ෂතා හේතුවෙන් දෙමාපියන්ට ඇය ක්‍රීඩා පිටියේ නිතර නිතර කරක් ගැසීම ගැන විරෝධී වීමට හැකි වූයේ නැහැ. මව ද ඇය පසුපසින්ම සිටි බැවින් ඇය ක්‍රීඩා පිටියේ පෑ දක්ෂතාවල සජීවී සාක්ෂියක් වුනා. මේ සාක්ෂිය, සාරංගීට වැදගත් වූයේ ඇයගේ මලල ක්‍රීඩා දිවියට පියාගේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් කළ අරගලයේ දී.

අන්තිමයා වී පැමිණ රන් දිනූ ආදේශිකාව “නිලානි”

නිලානි රත්නායක මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට..

ඊට තවත් එක් හේතුවක් වන්නේ 2012 වසරේ දී පමණ වයස අවුරුදු 15න් පහළ දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 5.40ක දුරක් පනිමින් පෑ දක්ෂතාව. එම දක්ෂතාව ඇය එම වයස් කාණ්ඩයේ පළමුවැනියා බවට පත් කරනවා. සාරංගි මලල ක්‍රීඩාවේ කරක් ගැසීම ගැන නිවැසියන්ගේ යම් හෝ විරෝධයක් තිබුණි නම් මේ දක්ෂතාව නිසා එය ද ඉවත් වෙනවා.  

“මට සාරංගි හමුවෙන්නේ වයස අවුරුදු 14-15 කාලයේ දී. ඇය සතු වූ ක්‍රීඩා ඉරියව් බොහෝ දුර ගමනක් ගෙන යා හැකිය යන විශ්වාසයක් මා තුළ ඇති වුනා. නමුත් ඇයට දීර්ඝ නිවැරදි පුහුණුවක් අවශ්‍ය වුනා. මේකට සාරංගිගේ දෙමාපියන් එකවිටම කැමති වුනේ නැහැ. නමුත් ඔවුන්ගේ එක පාරටම අකමැති වුනෙත් නැහැ. ඒ තත්ත්වය බාධාවක් කර නොගනිමින් අපි පුහුණුවීම් පටන් ගත්තා.” මේ සාරංගිගේ පුහුණුකරු වයි. කේ. කුලරත්න මහතා ThePapare.com සාරංගීගේ අතීතය විමසූ විට පැවසු දේය. 

සාරංගි සිය පුහුණුකරු සමඟින්

සාරංගි එතැන් සිට කුලරත්න මහතා යටතේ පුහුණුවීම් කළ ද කාලයක් යන තුරු මතක හිටින ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. මේ ගැන සාරංගි හිටියේ තරමක් කනස්සල්ලෙන්. 

නමුත් කුලරත්න මහතා දැන සිටියා සාරංගි හිස ඔසවන්නේ කුමන කාලයේ ද යන වග. ඔහු සාරංගීට ආරම්භයේ දී ලබා දුන් සාමාන්‍ය පුහුණුවීම් ක්‍රම ක්‍රමයෙන් දැඩි කරමින් කිසිදු විවේකයක් නොදී සිදු කරමින් ගියා. සාරංගී වූවත් ආරම්භ කළ දේ අතරමග දමා යන්න කැමති වුනේ නැහැ. 

අවසානයේ වසර දෙකක පමණ ඇවෑමෙන් සාරංගී කප් ගහන කෙල්ලක් බවට පත් වුනා. ජාතික ක්‍රීඩා උළෙලේ දී මීටර් 5.89ක් දුර පනිමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නවා. ඊට පසුව ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 6.04ක් දුර පනිමින් එම තරගාවලියේ වාර්තාව ද සමඟින් රන් පදක්කම දිනා ගන්නවා. අනතුරුව චයිනීස් තායිපේ හිදි පැවති කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට වරම් දිනා ගන්නා ඇය එහි දී සිව්වැනි ස්ථානය ලබා ගන්නවා. 

“මේ තරගවලින් පස්සේ 2016 අවුරුද්දේ දී සාරංගීට හැකි වෙනවා දුර පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ඇය සතු කර ගන්න. එතෙක් එන්. සී. ඩී. ප්‍රියදර්ශනී සතුව තිබූ එම වාර්තාව එම වසරේ පැවති SAG ක්‍රීඩා උළෙලේ දී ඇය සතු කර ගන්නේ මීටර් 5.87ක දුරක් පනිමින් ලෝකඩ පදක්කම ද දිනා ගනිමින්. මම විශ්වාස කරනවා සාරංගීට මේ ජයග්‍රහණය විශාල රුකුලක් වෙනවා මේ ඉසව්වෙ දිගු ගමනක් යන්න. ඇය ඉතා ඉක්මනින් එම ඉසව්වේ දිනෙන් දින දියුණුවක් දැක්වූවා.” කුලරත්න මහතා නැවත පැවසුවා. 

සාරංගි මේ වසරේ දී ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ දී මීටර් 6.15ක් දුර පනිමින් එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තා. එය එතෙක් ඇය වාර්තා කරන ලද හොඳම දක්ෂතාව ද වූවා. 

SAG පිටිය බැබළවූ “දිගන පොඩි නංගි” – ඩිල්ෂි

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා..

නමුත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරා ගැනීමේ තරග ලෙසින් ද පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඇයට තම සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි වුනේ නැහැ. එහි දී පළමු ස්ථානය, තුන් පිම්ම ජාතික ශූරිය වූ විදුෂා ලක්ෂානි තම පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසින් මීටර් 6.23ක් දුර පනිමින් රන් පදක්කම දිනා ගත්තා. එහි දෙවැනි ස්ථානය අන්ජානි පුල්වංශට හිමි වූ අතර ඔවුන් දෙදෙනා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සාරංගීගේ ඉසව්ව නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගන්නවා. 

තම ප්‍රධාන ඉසව්ව අහිමි කර ගන්නා සාරංගි දකුණු ආසියානු තරගාවලිය වෙනුවෙන් නේපාලයට යන්නේ මීටර් 100×4 කාන්තා සහාය දිවීමේ ඉසව්වට සහභාගී වීමට. ඇය හිතේ කහටක් නොමැතිව තමන් තේරී පත්වූ ඉසව්වට සහභාගී වීමට ඉටා ගන්නට ඇති. එහෙත් තම සුපුරුදු ඉසව්ව අහිමි වීම ගැන දුක් වෙන්නට ද ඇති. 

එහෙත් දෛවය වෙනස් කළ නොහැකි යැයි කතාවක් තිබේ. තුන් පිම්ම ඉසව්වට සහ දුර පැනීමේ ඉසව්වට සහභාගී වීමට කත්මණ්ඩු ගිය විදූෂා ලක්ෂානි එරට දී උණ රෝගයට ගොදුරු වෙනවා. තම ප්‍රධාන ඉසව්ව වූ තුන් පිම්ම ඉසව්වේ දී විදූෂාට හිමිවෙන්නේ රිදී පදක්කම. තුන් පිම්ම ඉසව්වෙන් පසුව විදූෂා ලක්ෂානිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින්නේ නැහැ. බලධාරීන්ගේ විශ්වාසය වූයේ සාරංගා සිල්වා. 

කාන්තා මීටර් 100×4 ඉසව්වට සහභාගී වීමට කත්මණ්ඩු ගිය සාරංගි සිල්වා ආදේශක ක්‍රීඩිකාව ලෙසින් තම සුපුරුදු ඉසව්වට සහභාගී වෙනවා. එහි දී ඇය සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නවා. ඒ මීටර් 6.38ක දුරක් තරණය කරමින් එම ඉසව්වේ ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාව ද වාර්තා කරමින්. ඉන් නතර නොවන ඇය තමන් කත්මණ්ඩු ගිය මීටර් 100×4  කාන්තා සහාය දිවීමෙ ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට දායක වෙනවා. 

“සාරංගි රැකගත යුතු දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය වැනි අයට මීට වඩා තාක්ෂණයෙන් සහිත වූ පුහුණුවක් අවශ්‍යයි. මම විශ්වාස කරනවා ඔවුන්ට දැන් විදෙස් පුහුණුකරුවන්ගේ සහයෝගය ලැබෙනවා  නම් හොඳයි කියලා. ඉන්දියාව වැනි රටවල ඔවුන්ගේ සහයෝගය දැඩිව ලබා ගන්නවා. අපිත් වැඩි වැඩියෙන් ඒ දේවල්වලට යොමු වෙනවා නම් ඉතා වැදගත් වේවි. 

සාරංගිට මීටර් 6.70- 6.80ක දුරක් පනින්න පුළුවන් කියන විශ්වාසයේ මම සිටිනවා. අපි මේ වන විට පුහුණුවීම් කරන්නේ එම ඉලක්කය සපුරා ගන්න. ඒකට අවශ්‍ය ජවය සහ ශක්තිය සාරංගි සතුයි. අනික් එක මීටර් 100 සහාය දිවීමේ තරගයට සහභාගී වෙමින් ඇයගේ වේගය සම්බන්ධයෙන් වන සහතිකයක් ද ඇය ලබා දී තිබෙනවා. මේ දේවල් සමඟ ඇය ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් කරා ගෙන යෑමටයි අපේ උත්සාහය.” කුලරත්න මහතා සාරංගිගේ අනාගතය සැකසෙන ආකාරය ප්‍රකාශ කළා. 

අහම්බයක් නොවූ ඉසව්වේ අහම්බයක සාමාජිකයෙක් වෙමින් රන් දිනා ගත් ඇයට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<