අන්තිමයා වී පැමිණ රන් දිනූ ආදේශිකාව “නිලානි”

299

නිලානි රත්නායක මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් වන්නේ අවසන් මොහොතේ දී. එහෙත් තමන් සහභාගී වූ ඉසව් දෙකෙන්ම තම මව්බිම රන් පදක්කම් දෙකකින් සැරසීමට ඇය සමත් වූවාය. 

SAG – නිලානි රන් පදක්කමට දිව යද්දී හිමාෂට නූලෙන් රන් අහිමි වේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (03) නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ…..

ශ්‍රී ලංකා කාන්තා මීටර් 3,000 බාධක දිවීමේ ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන්නේ නිලානි රත්නායක. ඇය 2018 වසරේ පැවති 96 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්ව නිමා කරන්නේ විනාඩි 9.46.76ක කාලයකින්. එය තමයි මේ වන විට එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වන්නේ. ඇය එම ඉසව්වට අමතරව මීටර් 5,000 ඉසව්වට ද සහභාගී වෙනවා. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අඩු සහභාගීත්වය හේතුවක් කර ගනිමින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නිලානිගේ සුපුරුදු ඉසව්ව වන මීටර් 3,000 බාධක දිවීම ඇතුළත් වෙන්නේ නැහැ. ඒ හේතුවෙනුයි ඇයට SAG අහිමි වෙන්නේ. 

මේ වසරේ පැවති 97 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ සුදුසුකම් ලැබීමේ තරග ලෙසින් ද නම් කෙරුණා. මේ තරගාවලියේ  දක්ෂතම ක්‍රීඩිකාව වන්නේ නිලානි. ඒ ඇයගේ ඉසව්වේ ඇය පෑ දක්ෂතා හේතුවෙන්. මෙම දක්ෂතාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට හොඳටම ප්‍රමාණවත් වුනා. නමුත් එම ඉසව්ව එකී ක්‍රීඩා උළෙලේ නොමැති නම්…..?

97 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ නිලානි  සහභාගී වූ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ අවස්ථාවක්.

එහෙත් නිලානිට තවත් එක් අවස්ථාවක් හිමිව තිබුණා. ඒ SAG තරගාවලියට සහභාගී වීමට නම් මීටර් 5,000 ඉසව්වේ දී ඉතා හොඳ තරග නිමි කාලයක් වාර්තා කිරීම. නමුත් අවාසනාව එන විට එන්නේ පොදි බැඳගෙන කරපින්නාගෙන කියන්නාක් මෙන් එම තරගයේ අවසන් වටයේ දී ඇය යම් ආබාධිත තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා ඇයට අපේක්ෂිත දක්ෂතා දැක්වීමට නොහැකි වෙනවා. 

එම තරගයේ ජයග්‍රාහිකාව වන්නේ හිරුණි විජේරත්න. ඇමෙරිකාවේ පදිංචි ඇය, දිගු දුර දිවීමේ ඉසව් නියෝජනය කරන්නියක්. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 5,000 ඉසව්ව මෙන්ම කාන්තා මැරතන් ඉසව්ව ද නියෝජනය කිරීමට ඇය සුදුසුකම් ලැබුවා. නමුත් මෙහි දී ඇය කිසිවෙකුත් නොසිතූ තීරණයක් ගන්නවා. ඒ ඇය සුදුසුකම් ලැබූ මීටර් 5,000 ඉසව්වට සහභාගීත්ව වරම් නිලානිට හිමිකර දෙමින්.  

නිලානි සහ හිරුණි එකම ධාවන පථයක

නිලානිගේ දක්ෂතා ගැන හිරුණි හොඳින්ම දැන සිටින්නට ඇති. එමෙන්ම තමන් සහභාගී වූ තෝරා ගැනීමේ තරගයේ දී ඇය තමන් සමඟ කරට කර පෑ දක්ෂතා ගැන ද ඇයට මතක තිබෙන්නට ඇති. මේ නිසා ඇයගේ ඉල්ලීම වූයේ තමන් සහභාගී වන ඉසව් දෙකෙන් එකක් වන මීටර් 5,000 දිවීමේ ඉසව්ව තමන් වෙනුවට නිලානි රත්නායකට ලබා දෙන ලෙසයි. බලධාරීන්ගේ අවසරය ද සමඟින් නිලානි රත්නායකට SAG වරම් හිමි වෙනවා.

ඒ අනුව 13 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 5,000 ඉසව්වට සහභාගී වීම සඳහා නේපාලයට ගිය නිලානිට මීටර් 1,500 ඉසව්වට ද සහභාගී වීමේ අවස්ථාව අහම්බයෙන් මෙන් ලැබෙනවා. ඒ එම ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සිටි මීටර් 800, මීටර් 1500 ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනාරච්චි සංචාරයට දිනක් තිබිය දී හදිසියේ අවාසනාවන්ත ලෙසින් රිය අනතුරකට ලක්වීම නිසා. 

නිමාලිට අනතුරක්; SAG සිහින බොඳ වෙයි ද?

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ නායිකාව සහ මීටර් 800 ඉසව්වේ…..

එම ඉසව්ව ද ඇයට හිමි වෙන්නේ දෛවෝපගත සිදුවීමක් ලෙසින්. නිමාලි ද විශ්වාසය තබන්නේ නිලානි වෙත. තමන්ට නොලැබෙන එම අවස්ථාව නිලානි රත්නායකට ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට තරම් නිමාලි ද නිහතමානී වෙනවා. ඒ ඇතැම් විට ඔවුන් දෙදෙනාම එකම පුහුණුකරු යටතේ පුහුණුව ලැබීමත් සහ ඊටත් වඩා මලල ක්‍රීඩා ධාවන පිටියේ ඔවුනොවුන් ඔවුන්ගේ දක්ෂතා ගැන මනා වැටහීමක් යටතේ සිටීමත් නිසා විය හැකියි. 

කෙසේ වෙතත්, එසේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ නිලානි රත්නායක මෙවර එම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් මලල ක්‍රීඩා පළමු රන් පදක්කමේ හිමිකාරීත්වය ලබා ගන්නවා. ඒ මීටර් 1500 ඉසව්ව විනාඩි 4:34.34ක කාලයක් වාර්තා කරමින්. ඒ මංගල ගමන දශක ත්‍රිත්වයකට ආසන්න දකුණු ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ ජයග්‍රාහී ගමනක් යන්න කදිම ආරම්භයක් ද වෙනවා. අනතුරුවය ඇය සහභාගී වූ මීටර් 5,000 ඉසව්වේ දී ඇය විනාඩි 16:55.18කින් තරගය නිමා කරමින් දෙවැනි රන් පදක්කම ද දිනා ගන්නවා.

SAG හි 1500 ඉසව්ව සාර්තකව අවසන් කළ ආකාරය

ආදේශක ක්‍රීඩිකාවක් ලෙසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ නිලානි එම ඉසව් දෙකේම රන් පදක්කම්ලාභිනිය වෙන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකීය ප්‍රතිඵල අතරට උණුසුම් පුවත් මවන්නියක් වෙමින්. 

මේ පදක්කම් දෙකේ ගෞරවය පිටුපස හිරුණි විජේරත්න සහ නිමාලි ලියනාරච්චිගේ පරිත්‍යාගයන් වඩාත්ම කැපී පෙනෙනවා. එසේම ඔවුන්ගේ සහෝදරත්වයෙන් යුත් බැඳීම් හි වැඩි වටිනාකමක් ද මේ හේතුවෙන්ම තරගාවලියේ වැඩි කතා බහට ලක්වෙන්නට ඇති.  

නිලානි රත්නායකට මේ ලැබූ අවස්ථාව අහම්බයක් වූවත් ඇයගේ මලල කෙළිබිමේ මතකය නම් අහම්බයක් නොවේ. රත්නපුර උපන් බිම කර ගත් නිලානි නංගිලා දෙන්නෙක්ගේ පවුලේ වැඩිමලී. වැඩි කතාවක් බහක් නැති ටිකක් විතර අහංකාර චරිතයත් ලෙසයි ගෙදර අය ඇය හඳුන්වන්නේ. එහෙත් ඇය මලල ක්‍රීඩා පිටියේ දී නම් සුහදශීලී ය. කවුරුන් සමඟ වුව සුහදව මිතුරු ගනු-දෙනු කරන්න නිලානි හරි දක්ෂයි. 

5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් සිය පුහුණුකරු සමඟ සතුට සමරණ නිලානි

නිලානිලාගේ ජීවිකාව රැක්කේ තේ දල්ල. ඒ වෙනුවෙන් ඔවුන්ටම වෙන්වූ කුඩා තේ වත්තක් නිවස පිහිටි ඉඩමේම තිබුණා. එහි වැඩ කටයුතු වගකීමක් සහිතව කළේ නිලානිගේ මව. පියාට පැවරී තිබුණේ ඉඩමේ බර වැඩ ටික කරල දෙන්න. නිලානි ඇතුළු නංගිලා දෙදෙනාත් මේ වැඩවලට ටික ටික උදව් නොකළාමත් නොවේ. එහෙත් ඒ ඉතාම සුළු වශයෙන්. ඒකට හේතු වෙන්නේ අම්මා කැමති වුනේ නැහැ , නිලානිලාගේ අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු මේ නිසා මග හරවා ගන්නවට. 

නිලානි මුලින්ම පාසල් යන්නේ ගමේ, බඹරකොටුව කියන විද්‍යාලයට. ප්‍රාථමික අධ්‍යාපන ලැබූ වයස අවුරුදු 9-10 කාලය වෙද්දී පොතට පතට වඩා නිලානි වැඩි අවධානය යොමු වෙන්නේ මලල ක්‍රීඩාවට. මේක නිලානිගේ මවට සේ ම පියාටත් මහා හිසරදයක් වෙනවා. පවුලේ වැඩිමලා ගෙදර ආදර්ශමත් චරිතයක් විය යුතුයි කියලයි දෙන්න දෙමල්ලෝ කීවේ. අධ්‍යාපනය පසෙක ලා නිලානිගෙ දුවන දිවීම නංගිලාටත් බෝ වුනොත් කියන බය තමයි මෙතැන වැඩි පුර තිබිල තියෙන්නේ. 

ගෙදරින් කොතරම් අකමැති වුනත් නිලානිගේ දිවීම නතර වුනේ නැහැ. නිලානිට මේක ඇබ්බැහියක් වෙද්දී දෙමාපියන් සමහර දවස්වල ඇයව හවස් වරුවේ තියෙන පුහුණුවීම්වලට යවන්නෙත් නැහැ.  ගෙදර රඳවා ගන්නවා. ඒත් නිලානිට පාසලින් පණිවිඩ පිට පණිවුඩ ලැබෙද්දී ඇයගේ දෙමාපියන්ට තමන්ගේ තීරණයෙන් මිදෙන්න සිදු වෙනවා. නිලානිගේ දක්ෂතා හේතුවෙන් පසු කාලයේ දෙමාපියන්ගේ තිබූ විරෝධතාවන් ද ඉබේම අහෝසි වෙමින් ඔවුන්ගේ ආශීර්වාදය ද ඇයට නිතැතින්ම හිමි වෙනවා.

කොහොම වුනත් ටික කාලයකින්ම නිලානි පාසලේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ මලල ක්‍රීඩාවේ දී ඇය පෑ දක්ෂතා හේතුවෙන්. නිලානිගෙ ආරම්භක ඉසව්ව වෙන්නේ මීටර 100 ය. හැබැයි ඉතිං, ඇයට මීටර් ප්‍රමාණය වැදගත් වුනේ නැහැ. දුවන්න ගත්තහම හැල්මේ දුවන එක තමයි ඇයගේ පුරුද්ද වුනේ. 

ඇයගේ මේ දිවිල්ලේ දක්ෂතාව කොතෙක් ද කියනවා නම් ඇයට රත්නපුර සුමන බාලිකාවට ඇතුළත් වීමට ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ඒ වෙද්දී නිලානි මලල ක්‍රීඩාවට අමතරව එල්ලේ, නෙට්බෝල්, බාස්කට් බෝල් මෙන්ම වෙනත් ක්‍රීඩාවල පවා නිරත වුනා. 

කොහොම හරි නිලානිගේ මලල ක්‍රීඩා දිවිය කපා ඔපමට්ටම් වෙමින් අගයක් ලැබෙන්නේ සුමන බාලිකාවෙන්. එතැන දී යමක් වටහා ගෙන දුවන්න ගත් නිලානි මේ වන විට නතර වෙලා සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංචිතයේ. නිලානි යුද හමුදාවට එක් වෙන්නේ ද පුවත් මවන්නියක් ලෙසින්. 

ඇයට යුද හමුදාවට එක් වෙන්න හිතෙන්නේ විශ්වවිද්‍යාලය අහිමි වීමත් සමඟ. ඒ විතරක් නොවේ ඇයට විද්‍යාපීඨ වරම් ද අහිමි වෙනවා. මේක නිලානිට දරා ගත නොහැකි දුකක් වෙනවා. පිටියේ පරාජයක් ඉවසුව ද ඇයට අධ්‍යාපන ඉසව්වේ දී ලත් පසුබෑම ඉවසන්න බැරි වෙනවා. මේ නිසා ඇය අධ්‍යාපනයත්, ක්‍රීඩාවත් පසෙකලා යුද හමුදාව සේවයට එක්වෙන්නට තීරණය කරනවා. 

ඒ අනුව 2011 වසරේ දී නිලානි යුද හමුදාවේ ලිපිකාරිණියක් ලෙසින් සේවයට එක්වෙනවා. එහෙත් ඇයගේ ජීවිතය ලියැවී තිබුණේ මලල ක්‍රීඩාව. මේ නිසා ඇයට එහි දී එකී ඉරණමෙන් ගැලවීමට නොහැකි වෙනවා.  ඒ අනුව ලිපිකාර රස්සාව කෙටි කාලයකට පසෙක තබන නිලානි, සුජිත් ජයලාල් මහතා යටතේ නැවත මලල ක්‍රීඩා පුහුණුවට එක් වෙනවා. 

එතැන් සිට නිලානිගේ මලල ක්‍රීඩාවේ දෙවැනි ගමන ආරම්භ වෙනවා. අද නිලානි ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ඵල දරණ ගසක් වී සිටින්නේ එවන් ගමනක මතකයන් ද කර පින්නාගෙන. දේශීය කෙළිබිමේ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශයන් හී සහභාගී වූ තරගවල දී ද නිලානි තම අනන්‍යතාව තම ආකාරයෙන්ම තබන්නට සමත්ව තිබෙනවා.  

තමන්ගේ නොවූවත් තමන් කෙරෙහි තම හිතෛශීන් තැබූ විශ්වාසයට උපරිමයෙන් කෘතගුණ දැක්වූ නිලානි වැන්නෝ මලල ක්‍රීඩා බිමෙන් නොව, වෙනත් ක්‍රීඩා බිමකින් ද සොයා ගැනීමට පහසු නැත. එවැන්නෝ අගේ කළ යුතුය. මේ සටහන තැබුණේ ද එනිසාවෙනි. 

අහම්බයෙන් ලැබූ අවස්ථාව අහම්බයක් නොකර තම දක්ෂතාවන්ට තෝතැන්නක් කර ගත් දිරිය දියණිය නිලානිට ThePapare.com හී සුබ පැතුම් හදපිරි සතුටින් එක් කරමු. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<