දකුණු ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙසින් නම් ලද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග නිමා වූයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක් හිමිකර දෙමින්. එම දක්ෂතාව විදෙස් රටක පැවති SAG ක්‍රීඩා උළෙලක දී මෙරට මලල ක්‍රීඩකයන් දිනා ගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයේ වාර්තාව ද සමඟින්. මෙම පදක්කම් ප්‍රමාණය මෙරට දී 1991 වර්ෂයේ පැවති දකුණු ආසියානු තරගාවලියේ දී දිනූ රන් පදක්කම් 15 සම කිරීමක් ද වුනා. 

සත්කාරක නේපාලය

මෙවර SAG තරගාවලිය ආරම්භ වෙන්නේ සත්කාරකයන්ට විවිධ බාධා එල්ල කරමින්. තරගාවලියට මාස කිහිපයකට පෙර නේපාලයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනය ඔවුන් මුහුණ දුන් පළමු අභියෝගය වුණා. එමගින් තරගාවලියේ ක්‍රීඩා කිහිපයක්ම පැවැත්වීමට තිබූ ක්‍රීඩාංගණවලට විශාල ලෙසින් හානි සිදු වුනා. 

ඊට අමතරව නේපාල ඔලිම්පික් කමිටුවට එරට අධිකරණය මගින් පැනවූ අධිකරණ තීරණයක් ද බලපා තිබුණා. කෙසේ වෙතත් මෙම බාධක දෙකම ජය ගැනීමට ඔවුන් සමත් වුනා. එහෙත් විදෙස් පුවත් ප්‍රචාරය කළේ තරගාවලිය නියමිත දිනවල දී පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි. ඒ තරගාවලියට මාස තුනකට පෙරත් ප්‍රධාන ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු අවසන්ව නොතිබූ බැවින්. 

සියලු පුවත් වාර්තා අසත්‍ය කරමින් නේපාලය 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සත්කාරකත්වයෙන් දායක වුනේ අලුත්ම නීති කිහිපයක් ද එක් කරමිනි. ඒ අතර ප්‍රමුඛ වූයේ සහභාගීත්වයෙන් අඩු තරග ඉසව් කිහිපයක් තරගාවලියේ ඉවත් කිරීමත් සහ එක් ඉසව්වකට එක් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් බැගින් තරගාවලියට එක් කිරීමටත් තීරණය කරමින්.

ඒ අනුව  ඔවුන් තමන්ගේ පදක්කම් ප්‍රමාණය පෙර වසරවලට වඩා ඉහළ දැමීමට බලාපොරොත්තු වූ බවක් පෙනෙන්නට තිබුණා. 12 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් ලෝකඩ පදක්කමකින් පමණක් සෑහීමට පත් වීමට සිදු වූ ඔවුන් මේ තීරණයෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සිතන්නට ඇති.

ශ්‍රී ලංකාවේ සූදානම් වීම

SAG තරගාවලියේ වැඩි අවධානයක් මලල ක්‍රීඩා ඉසව් වෙත යොමු වූව ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊට පෙර ආසන්නතම තරගවල දී පෑ දුර්වලතා හේතුවෙන් මලල ක්‍රීඩා පාලකයන්ගේ ද ඇනුම් පදවලට ඔවුන්ට භාජනය වන්නට සිදු වුනා. 

මේ වසරේ අප්‍රේල්වල අවසන් වූ ආසියානු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට දිනා ගත හැකි වූයේ එක් පදක්කමක් පමණි. ඒ තුන්පිම්ම කාන්තා ඉසව්ව නියෝජනය කළ විදූෂා ලක්මාලි ගෙල ලා ගත් ලෝකඩ පදක්කමයි. මේ ප්‍රතිඵලය මලල ක්‍රීඩා බලධාරීන්ගේ ඇනුම් පදවලට හේතු වුනා. 

විදූෂා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් දිනා

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ලැබූ අවසන් අවස්ථාව වූයේ 97 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියයි. එම තරගාවලිය ද බොහෝ විවේචනවලින් පිරුණ තරගාවලියක් වූවා. ඊට හේතු වූයේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් අ.පො.ස. උසස් පෙළ විභාගයට සහභාගී වීමත් සහ තවත් කිහිප දෙනෙක් ආබාධවලට ලක්ව සිටීමත්ය. 

තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ක්‍රීඩකයන් 32ක් සහ ක්‍රීඩිකාවන් 23කගෙන් යුත් සංචිතයක් නම් කෙරුණා. 

ශ්‍රී ලංකා පදක්කම් මල්ල

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා ඉසව් 36කට සහභාගී වෙමින් රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වෙනවා. ශ්‍රී ලංකාව දිනූ රන් පදක්කම් එකතුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වසර 28කට පසුව ඉන්දියාව අභිබවා යාමට සමත් වීම කැපී පෙනුණා. ඉන්දියාවට මලල ක්‍රීඩා ඉසව්වල දී හිමිකර ගැනීමට හැකි වූයේ රන් පදක්කම් 13ක් පමණයි. 

ශ්‍රී ලංකා පදක්කම් මල්ල එකතු කර ගැනීමේ දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිටියේ තරගකාරීත්වයට අමතරව තම තමන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයන් සමඟ ද තරග වැදීමට සිදු වුනා. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ඩෙංගු උණ රෝගයෙන් පෙළුණ අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම යම් යම් ආබාධිත තත්ත්වයන්ට ද පත්ව තිබුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වුනා. එහෙත් අසනීප තත්වයෙන් පසු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ආදේශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමන්ගේ උපරිමය කිරීම වඩාත් කැපී පෙනුණා. මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළට එසවීමට එය ප්‍රමුඛ හේතුවක් වුනා. 

ආබාධ-අනතුරු සහ උණ 

සංචිත ගත වූ මලල ක්‍රීඩා කණ්ඩායම තම පුහුණු කාලය ගත කළේ යහපත් තත්වයකින් නොවේ. ඔවුන් අතුරින් කිහිප දෙනෙක්ම විවිධ ආබාධවලට ලක් වීම සහ අසනීපයට පත් වීම ඊට හේතු වුනා. ඒ අතර පදක්කම් බලාපොරොත්තු කිහිපයක්ම වුණා. 

මීටර් 100 කාන්තා ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් වූ රුමේෂිකා රත්නායක ඒ අතර ප්‍රමුඛයා වුනා. ඊට අමතරව මීටර් 1500 ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් වූ හේමන්ත කුමාර සහ පිරිමි දුර පැනීමේ ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් වූ ප්‍රසාද් විමලසිරි ද ඊට ඇතුළත්.

එමෙන්ම මලල ක්‍රීඩා කණ්ඩායම මෙරටින් පිටත්ව යන දිනට පෙර දිනයේ දී ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ මීටර් 800 සහ මීටර් 1500 ඉසව්වේ ජාතික ශූරිය වූ නිමාලි ලියනාරච්චි යතුරුපැදියෙන් ගමන් කරන අතරතුර අනතුරකට ලක් වී රෝහල් ගත කිරීම ප්‍රබල පාඩුවක් වුනා. 

මේ නිසා ඇයගේ ගමන අඩාල වූ අතර නේපාලයට ගිය පසු තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ නදීෂා රාමනායක ඩෙංගු රෝගයෙන් පෙළීම නිසා තරගවලින් ඉවත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පාඩුවක් වුනා. 

හිරුණිගේ සහ නිමාලිගේ විශ්වාසය දිනූ නිලානි

නේපාලයේ සිතැඟි අනුව මීටර් 300 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සතු වූ නිලානි රත්නායකට, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් තිබුණා. ඒ එම ඉසව්ව මෙවර SAG තරගාවලියෙන් ඉවත් කර තිබූ නිසා. 

එහෙත් SAG තරගාවලියට පෙර සිටම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට මීටර් 5000 සහ මැරතන් ඉසව් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටි හිරුණි විජයරත්න නිලානිට අවස්ථාවක් ලබා දෙන්නට කැමැත්තෙන් සිටියා. ඒ මීටර් 5000 ඉසව්වේ දී ඇය දක්වන දක්ෂතා හේතුවෙන්. 

ඒ අනුව 13 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ඉසව්වට සහභාගී වීම සඳහා නේපාලයට ගිය නිලානිට යතුරුපැදි අනතුරින් මෙරට නතර වූ නිමාලි ලියනාරච්චිගේ මීටර් 1500 ඉසව්ව ද නියෝජනය කිරීමට අවස්ථාව හිමි වෙනවා. ඇය එම ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනා ගන්නේ තම ඉසව් පරිත්‍යාග කළ මිතුරියන්ට ද ගෞරවයක් ලබා දෙමින්.

නදීෂා වෙනුවට ඩිල්ෂි

ඩෙංගු රෝගය වැළඳුණ නදීෂා රාමනායක වෙනුවට මීටර 400 ඉසව්වේ ආදේශක ක්‍රීඩිකාව වූයේ ඩිල්ෂි කුමාරසිංහ. මලල ක්‍රීඩා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව වූ ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඉන් නොනැවතුන ඇය මීටර 800 ඉසව්වේ රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වුනා. මීටර 800 ආදේශක ක්‍රීඩිකාව වූ ගයන්තිකා අබේරත්න ද එහි රිදී පදක්කම දිනා ගන්නේ ආදේශක ක්‍රීඩිකාවකගේ වගකීම ටක්කෙටම ඉටු කරමින්. 

මෙම ඉසව් දෙකට අමතර ඩිල්ෂිට තවත් වගකීමක් පැවරෙනවා. ඒ මීටර් 400×4 කාන්තා ඉසව්ව ද නියෝජනය කරන ලෙසයි. ඇය ඊට සාධාරණයක් ඉටු කරන්නේ අවසන් මොහොතේ දී ශ්‍රී ලංකාව ඉදිරියේ නොතිබූ ජයග්‍රහණයක්, ජයග්‍රහණයකින් කෙළවර කරමින්. 

උණ පැරදූ රොෂාන්

ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවති තෙවැනි දිනය වන විට මීටර් 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වට සහභාගී වීමට සිටි රොෂාන් ධම්මික රණතුංග ද සිටියේ උණ රෝගයෙන් උත්සන්නව. 

එම ඉසව්ව වෙනුවෙන් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව තිබුණා. එහෙත් රොෂාන් වෛද්‍ය උපදෙස් පසෙක දමමින් තම ඉසව්වට සහභාගී වෙනවා. එසේ තරග වැඳුණ ඔහු තරගය අවසන් කරන්නේ ලෝකඩ පදක්කමකින් තම ගෙල පලඳවා ගනිමින්. 

පියාගේ මරණයෙන් කම්පා වී සිටි අරුණ

මීටර් 400 පිරිමි ඉසව්ව වෙනුවෙන් සහභාගී වීමට සිටි අරුණ දර්ශනගේ පියා හදිසියේ අභාවප්‍රාප්ත වෙන්නේ තරගාවලියට පිටත් වීමට සති දෙකකටත් අඩු කාලයක් තිබිය දී. එය ඔහුට බලවත් මානසික තර්ජනයක් වුනා. 

එහෙත් ඔහු තම දුක රට වෙනුවෙන් කැපකර තම ඉසව්වෙන් රන් පදක්කම ලක්මවට ලබා දෙනවා. ඒ තත්පර 46.69ක දක්ෂතාවක් දක්වමින්. ඊට අමතරව ඔහු 400×4 පිරිමි ඉසව්වේ ද රන් දිනූ කණ්ඩායමේ සාමාජිකයෙක් වුනා. 

ආබාධ මැද පැන්න පැනිල්ල

කාන්තා තුන්පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමි විදූෂා ලක්ෂානි සමඟ හෂිනි ප්‍රබෝධා බාලසූරිය කත්මණ්ඩු නුවර දී එම ඉසව්ව සඳහා සහභාගී වූයේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් සමඟින්. 

මේ අතුරින් වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකා වාර්තා හිමිකාරිනිය වෙතයි. නමුත් පසුගිය කාලයේ දී ඇය ආබාධ තත්ත්වයට ලක්ව තිබීම හේතුවෙන් තරගයට සහභාගී වීම ද අවිනිශ්චිතව තිබුණි. කෙසේ වෙතත් එම තත්ත්වය හමුවේ තරගයට එක් වූ ඇය රිදී පදක්කම දිනා ගත්තා. ඇය රිදී පදක්කමෙන් සෑහීමකට පත් වෙද්දී ප්‍රබෝධා එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. 

විදුෂාගේ තැන ගත් සාරංගි

තුන් පිම්ම ඉසව්වට පෙර විදූෂා ලක්ෂානි ඇගේ දෙවැනි ඉසව්ව වුන දුර පැනීමේ ඉසව්වෙන් විවේක ගන්වා තිබුණේ තුන් පිම්ම ඉසව්වට විඩාවකින් තොරව ඇයට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින්. 

ඇය වෙනුවට මේ ඉසව්ව වෙනුවෙන් නම් කෙරුණේ කාන්තා මීටර් 100×4 ඉසව්වට සහභාගී වීමට කත්මණ්ඩු ගිය සාරංගි සිල්වා. ආදේශක මේ ක්‍රීඩිකාව මීටර් 6.38ක දුරක් තරණය කරමින් රන් පදක්කම දිනා ගත්තා. ඒ එම ඉසව්වේ ඇයගේ හොඳම පෞද්ගලික දුර ද වාර්තා කරමින්.

කෙසේ නමුත් ආබාධ, බාධක සහ නොයෙක් කම්කටොළු මැද නේපාලයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේපාලයේ දී ද අධික සීතල සහ දූෂිත වායුගෝලීය තත්වයන්ගෙන් පීඩා විඳ අවසානයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව දකුණු ආසියාවේ ඉහළින් තබමින් තරගාවලිය අවසන් කරන්නට සමත් වීම සැබැවින්ම පැසසුමට ලක් කළ යුතුම කරුණකි. 

ඔවුන් එහි දී විද්‍යාමාන කළ ලක්මාතාවට ඇති ස්නේහය රන්, රිදි, ලෝකඩ පදක්කම් ගෙල ලා පීඨිකාව මත සිට ජාතික ගී ගැයෙද්දී වැටුණු කඳුලු කැටවලින් මනාව පිළිඹිබු වූවා. ඔබ සියලු දෙනාට තවතවත් ලක්මව රනින් සරසන්නට ධෛර්යය වාසනාව ලැබේවායි ThePapare.com අපගේ පැතුමයි………!

>> දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු පුවත් සඳහා පිවිසෙන්න මෙතැනින් <<