ලොක්කන්ගේ වැඩ නිසා ද. අප්‍රිකාවට ක්‍රිකට් තහනම් වන ලකුණු

422

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ බරපතළ විෂමාචාර ක්‍රියා හේතුවෙන් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් වීමේ අවදානමක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තුල පවතින අර්බුද සඳහා එරට මධ්‍යම රජය මැදිහත් වීමට තීරණය කිරීමත් සමඟින් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති කඩ වීමක් වන බැවින් දකුණු අප්‍රිකාව මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් කිරීමට හේතු විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් දන්වා තිබේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තුල නිලධාරීන්ගේ බරපතළ විෂමාචාරයන් හෙළි වීමෙන් පසුව එම ආයතනයේ කටයුතුවලට මැදිහත් වීමට තමන් අදහස් කරන බව දකුණු අප්‍රිකානු රජය පසුගිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති රීතිවලට අනුව ඕනෑම රටක ක්‍රිකට් ආයතනයක කාර්‍යයන් සඳහා රජයේ මැදිහත් වීම තහනම් කර ඇත. යම් අවස්ථාවක දී රජයෙන් යම් බලපෑමක් ඇතිවුවහොත් එම ක්‍රිකට් ආයතනය සහ එරට සියලු ක්‍රිකට් ක්‍රීඩාවන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට බලය ඇත. එම තහනම ඉවත්වන්නේ ක්‍රිකට් ආයතනය නැවතත් දේශපාලනික බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් පසුවය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ මෙම අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා ඇත්‍තේ එරට ක්‍රීඩා අමාත්‍යංශය විසින් කළ ප්‍රකාශය පිළිබඳව තමන් දැනුවත් බවයි. එහෙත් යම් මැදිහත් වීමක් පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මෙතෙක් තමන්ට පැමිණිලි කර නොමැති බවයි.

“අපි අපේ සාමාජිකයන්ට උපදෙස් දෙන්නේ රජය සමඟින් යම් ගැටලුවක් ඇතිවුන වෙලාවක දී සෘජුවම ඒ ගැන සාකච්ඡා කරලා විසඳගන්න කියලා. අපි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ගැන වගේම මේ ඇතිවෙලා තියන තත්ත්වය ගැන අවධානයෙන් ඉන්නවා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

දකුණු අප්‍රිකානු රජය සහ එරට ක්‍රිකට් ආයතනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය මීට දිගු කලකට පෙර ඇතිවූවකි. මෙම තත්ත්වයත් සමඟින් එරට ක්‍රිකට් මණ්ඩලයේ කටයුතු පිළිබඳ දීර්ඝකාලීන විමර්ශනයක් සිදු කෙරුනු අතර එහි ප්‍රතිඵලය වූයේ පසුගිය අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ Thabang Moroe එම ධූරයෙන් ඉවත් කිරීමයි. ඒ බරපතළ විෂමාචාර චෝදනා හේතුවෙනි.

ස්වාධීන විමර්ශකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් සකස්කරන ලද ඉහත වාර්තාව ප්‍රසිද්ධ කිරීම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු රජය එරට ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව සමඟින් එක්ව තවත් පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබුණි. එහෙත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය එයට අවසර ලබා දී තිබුණේ නැත.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ලැබී මාස දෙකකටත් වඩා වැඩි කාලයකට පසුව එම ආයතනය විසින් අධිකරණ විමර්ශන සොයාගැනීම්වල සාරාංශයක් මේ මාසයේ දී ප්‍රසිද්ධියට පත්කළේය.

කෙසේ වෙතත් පිටු 500කින් යුත් සම්පූර්ණ වාර්තාව දකුණු අප්‍රිකානු නීති සම්පාදකයින්ගේ කමිටුවකට භාර දෙන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට රජය විසින් දන්වා තිබේ. ඒ සාරාංශය නිකුත් කිරීමෙන් පසුවය.

පසුගිය දා ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තාවේ දී එම ආයතනය තුල සිදුවී ඇති බරපතළ විෂමාචාරයන් සහ බරපතළ දූෂණ ක්‍රියා රැසක් හෙළි කර ඇත. එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියා වූ Thabang Moroe සහ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරි Naasei Appiah  වැරදිකරුවන් ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත් මෙම සියලු ලියකියවිලි නැවත විමර්ශනය කළ නීති සම්පාදකයින් පසුගිය අඟහරුවාදා ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

එහි දී ඔවුන් සෙසු විධායක නිලධාරීන් සහ මණ්ඩල සාමාජිකයින් මෙම විමර්ශනයේ දී විමර්ශනයට ලක් නොකිරීමට හේතුව විමසා තිබුණි. මෙම පරීක්ෂණය තුලින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය යම් යම් නිලධාරීන්ගේ වැරදි සැඟවීමට උත්සාහ කරනු දක්නට ඇති බව ද ඔවුන් ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔවුන් මෙම විමර්ශන වාර්තාව ඒක පාර්ශවීය වාර්තාවක් ලෙස හදුන්වා තිබේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය දැනට වැඩ බලන සභාපතිවරයෙකු සහ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියෙකු යටතේ කටයුතු කරයි. Thabang Moroeගේ පාලන කාලය තුළ සිදු වූ බරපතළ විෂමාචාර ක්‍රියා නැවැත්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මණ්ඩලය දැඩි විවේචනයට ලක්වි තිබේ.

මෙවන් පසුබිමක් තුල Nathi Mthethwa පසුගිය බදාදා ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ පාලන කටයුතු ස්ථාවර කිරීම සඳහා සහාය වීමට තමන් උත්සාහ කළ බවයි. ඒ සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ රැස්වීම් මාලාවක් පැවැත්වූ බවත්, එම රැස්වීම් සියල්ල නිෂ්ඵල වී ඇති බවත් ඔහු පවසා තිබේ. ක්‍රිකට් ආයතනය තම අමාත්‍යාංශය සමඟින් එව කටයුතු කිරීමට කිසිදු සහයක් නොදක්වන බවට ද ඔහු චෝදනා කළේය.

එංගලන්තය එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කිරීම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟින් සාකච්ඡා කරමින් සිටී. නමුත් මෙම යෝජිත සංචාරය කොරෝනා වසංගතය  හේතුවෙන් අවදානමකට ලක්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<