ගුවන් ගමන් ප්‍රමාදයෙන් සුරංජයට ඔලිම්පික් අහිමි වෙයි

493
Vinoj Surangaya'

නිමාවූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) පිරිමි මීටර් 200 ඉසව්වේ රන් පදක්කම් ලාභී විනෝජ් සුරංජය ද සිල්වා මේ දිනවල කසකස්තානයේදී පැවැත්වෙන ජී. කසානොව් අනුස්මරණ ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වට සහභාගි වී තත්.20.93ක දක්ෂතාවක් සමඟින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

සුරංජය මීටර් 200 ඉසව්වෙන් පසුගියදා දැක්වූ දක්ෂතාව (තත්.20.93) ශ්‍රී ලාංකේය ක්‍රීඩකයකු මීටර් 200 ඉසව්වෙන් දැක්වූ හොඳම කාලයන් අතර තුන්වැනි ස්ථානයට පත්වූ අතර එම පළමු ස්ථානය තත්. 20.69ක දක්ෂතාවක් සටහන් කළ සුගත් තිලකරත්නටත්, දෙවන ස්ථානය තත්.20.80ක දක්ෂතාවක් සටහන් කළ ප්‍රසන්න අමරසේකරටත් හිමිව තිබේ.

අදාළ තරගාවලියට සහභාගි වීම සඳහා කසකස්තානය බලා පියාසර කළ ගමනේදී ඇතිවූ ගුවන් ගමන් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් සුරංජයට දින දෙකක පමණ කාලයක් නිදි වරාගෙන සිටීමටද සිදුව ඇති අතර ඔහු කසකස්තානයට ළඟා වනවිට තරගයට සහභාගි වීම සඳහා ඉතිරිව තිබී ඇත්තේ පැය 24කටත් අඩු කාල පරාසයකි.

කෙසේ වෙතත් ගුවන් ගමන් ප්‍රමාද දෝෂය ඇති නොවන්නට තමන්ට මීටර් 200 ඉසව්වේ ඔලිම්පික් පරිසාධන මට්ටම එනම් තත්. 20.50 සීමාව ළඟාකර ගැනීමට අවස්ථාව තිබූ බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුරංජය ද සිල්වා “ලබන ජූලි මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා කසකස්තානයේදීම තවත් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙනව. මට ඒ සඳහා සහභාගිවීමට අවස්ථාවක් උදාවුණොත් ඔලිම්පික් පරිසාධන මට්ටම ළඟාකර ගන්න පුළුවන් කියල මට ලොකු විශ්වාසයක් තියෙනවා” යනුවෙන්ද පැවසීය.

මේ අතර උක්ත තරගාවලියට සහභාගි වූ පසුගිය සාග් තරගාවලියේ මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම්ලාභී ඉඳුනිල් හේරත් මෙවර මීටර් 800 ඉසව්වෙන් මිනි.1 තත්.49.83ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූ අතර එම ඉසව්වෙන් ඉඳුනිල් සටහන් කර ඇති හොඳම කාලය මීට වසර දෙකකට පෙර මිනි. 1 තත්.48.69ක් ලෙස සටහන් කර ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට