මිස්බා උල් හක් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

210

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා වූ හිටපු පාකිස්තාන නායක මිස්බා උල් හක් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. 

මිස්බා උල් හක් මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වගකීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අරමුණු කරගෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිනි. 

මිස්බා උල් හක් තම තීරණය පිළිබඳව දැනුම්දීම සඳහා අද (14) දින මාධ්‍ය හමුවක් කැඳවා තිබිනි. ඒ ලාහෝර් හිදීය. එම මාධ්‍ය හමුවට පෙර ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනයට සිය තීරණය පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇත. මිස්බා එම මාධ්‍ය හමුවේ දී පැවසූ ආකාරයට ඔහු එළඹෙන නොවැම්බර් මස 30 වනදා දක්වා පාකිස්තාන තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු ප්‍රධානියා ලෙස මිස්බා උල් හක් පත්විය. 

මම තව ටික කාලයක් තේරීම් කමිටුවේ ප්‍රධානියා විදිහට ඉන්නවා. අපිට ඊළඟට තියෙන්නේ සිම්බාබ්වේ තරගාවලිය. ඒ තරගාවලියට මම තේරීම් කමිටු ප්‍රධානියා විදිහට කණ්ඩායම තෝරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මගේ පුහුණුකරු ධුරයේ වගකීම් වලට වැඩි අවධානයක් යොමු කරන්න. 

මිස්බා උල් හක් මෙලෙස තේරීම් කමිටුවෙන් ඉවත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ යම් කිසි බලපෑමක් ඇති බවට ප්‍රචාරයක් ගොස් තිබිනි. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේය. එහිදී මිස්බා උල් හක් පවසා සිටියේ තමන් එම ධුරයේ කටයුතු කළ වසරක කාලය තුළ කිසිම අවස්ථාවක පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් බලපෑමක් එල්ල නොවූ බවත්, තම තීරණයට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සම්බන්ධ නොමැති බවත්ය. 

“නැහැ මට කිසිම බලපෑමක් තිබුනේ නැහැ. මේ තීරණය සම්පූර්ණයෙන්ම මගේ පුද්ගලික තීරණයක්. මම මේ තීරණය ගත්තේ, මට තේරුණා මේ වගේ භාරධුර වගකීම් දෙකක් එකම වෙලාවක කරන එක ගොඩක් ලොකු පීඩනයක් කියලා. ඒ නිසා මම තීරණය කළා එක් වගකීමක් විතරක් තියාගන්න. මම බලාපොරොත්තු වෙනවා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට මගේ උපරිමය ලබාදෙන්න.”  

“පාකිස්තාන කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා විදිහට කවුරු පත්වුනත් මම මගේ උපරිම සහයෝගය ඔහුට ලබාදෙනවා. මම ඔහුත් සමඟින් එකතුවෙලා ටෙස්ට්, එක්දින වගේම විස්සයි විස්ස තරග රටාවලදීත් පාකිස්තාන කණ්ඩායම ඉහළටම අරන් යන්න මට පුළුවන් උපරිමය කරනවා.” යයි මිස්බා උල් හක් පවසා සිටියේය. 

කෙසේවෙතත් පසුගිය මාසයේ දී මිස්බා උල් හක් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතර යම් කතාබහක් ඇතිවූ බව මාධ්‍ය වාර්තා කර තිබිනි. එහිදී පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වන අසාර් අලී හා මොහොමඩ් හෆීස්ද මිස්බා උල් හක් සමඟින් එම රැස්වීමට සහභාගී වී සිටියේය. එම රැස්වීමේ දී පාකිස්තාන ප්‍රාන්ත කණ්ඩායම් කිහිපයක් අවලංගු කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කළ බව මීට පෙර එම ක්‍රීඩකයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිනි. 

මිස්බා උල් හක්ගේ හදිසි ඉවත්වීමට එම රැස්වීම යම් බලපෑමක් කළේද යන්න පිළිබඳව ද මිස්බා උල් හක්ගෙන් විමසීමට මාධ්‍යවේදීන් කටයුතු කර තිබිනි. 

එහිදී ද මිස්බා උල් හක්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ එම තීරණයට දේශපාලනික හෝ කිසිඳු බලපෑමක් එල්ල නොවූ බවයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කෙසේවෙතත් මිස්බා උල් හක් සහ ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු මෙලෙස සෘජුවම අග්‍රාමාත්‍යවරයා හමුවීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධියේ සිය අප්‍රසාදය පළකර තිබිනි. මෙම කණ්ඩායම් අවලංගු කිරීමට ගත් තීරණය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ගත් අභ්‍යන්තර තීරණයක් බවත්, ඒ පිළිබඳව තමන් සමඟින් සාකච්ඡා නොකර අග්‍රාමාත්‍යවරයා සමඟින් සාකච්ඡා කිරීම අනුමත කළ නොහැකි හැසිරීමක් බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා තිබිනි. 

“කවුරුහරි හිතනවා නම් ඒ රැස්වීම හෝ ඉන් අනතුරුව සිදුවුන සිදුවීමක් මගේ මේ ඉවත්වීමට හේතුවක් කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම දෙයක් සිදුවෙනවා නම් මම පුහුණුකරු ධුරයත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ.”  

මෙම හමුවීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතන ප්‍රධානී එහ්සාන් මානි සහ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන්, මිස්බා උල් හක් සහ අසාර් අලී හමුවී සිය අප්‍රසාදය පළකර තිබිනි. එහිදී ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ එලෙස සෘජුවම අග්‍රාමාත්‍යවරයා හමුවීම වරදක් බවයි. නැවත එලෙස සිදුනොකරන ලෙස ද ක්‍රිකට් ආයතනය විසින් මිස්බා උල් හක් හට පවසා තිබිනි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු වන අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කරයි. 

පාකිස්තාන ක්‍රිකට් ආයතනය තමන්ට දෝෂාරෝපණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිස්බා උල් හක් පවසා සිටියේ තම ක්‍රියාව නිවැරැදි තීරණයක් බව කාලයක් සමඟින් අවබෝධ වනු ඇති බවයි. 

තේරීම් කමිටුවේ ප්‍රධානියා විදියට වගේම පුහුණුකරු විදිහට වැඩ භාර ගන්න වෙලාවේ මම හිතුවා මට ඒ දෙකම කරන්න පුළුවන් කියලා. ඒත් මට හිතෙනවා මම එක වැඩක් හරියට අවධානය යොමු කරලා කරන එක හොඳයි කියලා.” 

පසුගිය වසර තුළ පාකිස්තාන ජාතික කණ්ඩායම ලබාගත් ප්‍රගතිය පිළිබඳව තමන් සතුටු වන බවද මිස්බා උල් හක් පවසා සිටියේය. 

“ප්‍රධාන පුහුණුකරු විදිහට මගේ මූලික වගකීම වෙන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටා තුනේදීම පාකිස්තාන කණ්ඩායම ඉහළට ගෙන එන්න. අපිට ඉදිරියේ දී ලෝක කුසලාන තරගාවලිය තියෙනවා. ඒ නිසා අපි දැන්ම සූදානම් වෙන්න පටන්ගන්න ඕනේ.” 

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ මිකී ආතර් ය. එම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකිවීමත් සමඟින් මිකී ආතර් සහ ඔහුගේ පුහුණු කාර්‍යමණ්ඩලය ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඉන් අනතුරුව මිස්බා උල් හක් එම ධුරයට පත්විය. 

පාකිස්තාන තේරීම් කමිටුවේ ප්‍රධාන තනතුර සඳහා මෙතෙක් කිසිඳු අයෙකු නම් කර නොමැති නමුත් හිටපු පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් එම ධුරය සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟින් සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. ඒ පිළිබඳව පසුගියදා ඔහු Youtube ඔස්සේ එක්වූ සාකච්ඡාවක දී පවසා තිබිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<