ඉන්දියානු ක්‍රිකට් ප්‍රධානියා රෝහල්ගත කෙරේ

124

පපුවේ වේදනාවක් නිසාවෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු මෙන්ම වත්මන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී Sourav Ganguly අද (02) දහවල් රෝහල් ගත් කිරීමට කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.  

අද (02) උදෑසන සිදු කළ කායවර්ධන ව්‍යායාමවලින් අනතුරුව Ganguly හට පපුවේ වේදනාවක් හට ගැනීම නිසා දහවල් 01ට පමණ ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් ඔහු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

එමෙන්ම ඔහුගේ තත්වය පිළිබඳව සටහනක් තබමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජික Jay Shah ප්‍රකාශ කර සිටියේ ඔහු Sourav Gangulyගේ පවුලේ සාමාජිකයන් සමඟින් කතා කළ බවත්, ඔහුගේ තත්වය මේ වන විට හොඳ මට්ටමේ තිබෙන බවයි.

මීට අමතරව ඔහුගේ තත්වය පිළිබඳව අදහස් දක්වමින් රෝහල් වෛද්‍යවරයෙකු ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ,

“ඔහු මේ වන විට ප්‍රතිකාරවලට ලක් කරමින් සිටිනවා. ඔහුව පැය 24ක් සඳහා පූර්ණ ලෙස අධීක්ෂණය කරනවා. ඔහු සම්පූර්ණ වශයෙන් ශක්තිමත්ව සිටිනවා, ඒ වගේම දැන් ඔහුගේ තත්වය යහපත්. ඔහුගේ හෘදයේ ස්ථාන දෙකක් අවහිර වී තිබුණා. එයට ප්‍රතිකාර කරලා අවසන්. අපි සඳුදා උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේ දී ඉදිරි කටයුතු පිළිබඳව තීරණයක් ගැනීමට සූදානමින් සිටිනවා.” 

Sourav Ganguly රෝහල්ගත කළ පුවත සැලවීමත් සමඟින් ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබූ අතර ක්‍රීඩකයන් රැසක් ද ඔහු වෙත ඉක්මන් සුව පතමින් පණිවිඩ නිකුත් කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

වසර 16කට ආසන්න කාලයක් ඉන්දියානු කණ්ඩායමට සිය සේවාව සැපයූ Sourav Ganguly එරට නියෝජනය කරමින් ටෙස්ට් තරග 113කට සහ එක්දින තරග 311කට දායකත්වය ලබා දුන් අතර එරට ජාතික කණ්ඩායමේ නායකත්වය ද දැරූ ඔහු එරට බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස ද සැලකේ.

එමෙන්ම සමුගැනීමෙන් පසුව 2015 වසරේ සිට බෙංගාල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දැරූ Sourav Ganguly 2019 වසරේ දී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<