එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය තහවුරුයි

261

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදි සිදු කිරීමට මේ වන විට අවසරය ලැබී තිබේ. 

තරගාවලිය සඳහා සහභාගී වීමට මෙරටට පැමිණීමට පෙර එංගලන්තයේ දී කණ්ඩායම සහ සෙසු නිලධාරීන් හට කොරෝනා වයිරස ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට පසුගිය දා පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම පරීක්ෂණ අනුව කිසිදු ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියෙකුට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය. 

ඒ අනුව එංගලන්ත සංචිතය ඔවුන්ගේ පළමු කඩඉම පසුකරයාමට සමත්ව තිබේ. 

පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා එංගලන්ත සංචිතය සිය පරීක්ෂණ සඳහා පෙනී සිටියේය. එහි ප්‍රතිඵල ඊයේ (01) නිකුත් විය.

එංගලන්ත සංචිතයට මෙරටට පැමිණීමට අවසර ලැබීමත් සමඟින් ඔවුන් අද (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

එංගලන්ත සංචිතය සහ නිලධාරීන් මෙරටට පැමිණීමෙන් අනතුරුව දින 10ක කාලයක් හම්බන්තොට දී ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල නිරෝධායනය වීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් මෙම කාලය තුල ඔවුන්ට හෝටලයෙන් බාහිරව පුහුණුවීම් සඳහා සහභාගී වීමට අවසර ලැබී තිබේ. 

පසුගිය සති කීපය තුල එංගලන්තය තුල නැවතත් කොරෝනා වයිරසය පැතිර යාමට ආරම්භ වූ නිසා එංගලන්ත සංචාරය පිළිබඳව තරමක අවිනිශ්චිතතාවයක් ඇතිවී තිබුණි.

මේ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමීපව කටයුතු කරමින් තත්ත්වය නිරන්තරයෙන් සොයා බලමින් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළේය.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර එම තරග ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව පැවැත්වේ. මෙම තරගාවලිය මීට පෙර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණි. පැතිර ගිය කොරෝනා වයිරසය නිසා තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළේය. 

ජෝ රූට්ගේ නායකත්වය යටතේ මෙරටට පැමිණෙන එංගලන්ත කණ්ඩායම ජනවාරි මාස 14 සිට 26 දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර එම කාලය තුල ඔවුන් ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල රැඳී සිටීමට නියමිතය. 

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය: Joe Root (නායක), Moeen Ali, James Anderson, Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Ben Foakes, Dan Lawrence, Jack Leach, Dom Sibley, Olly Stone, Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා – එංගලන්ත තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය
ජනවාරි මස 14 සිට 18 දක්වා පළමු ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 
ජනවාරි මස 22 සිට 26 දක්වා දෙවන ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<