ස්මිත්, වෝනර් කළ යුතු දෑ පොන්ටින් විසින් පහදයි

754

ඒකාබද්ධ වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ගේ ආගමනය සිදුවීමට කාලය ආසන්නය. ඒ සමඟින් සිදු විය හැකි දේ ගැන පුරෝකථනයක් ප්‍රවීණ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක රිකී පොන්ටින් විසින් ලබා දී තිබේ.

මට විශ්වාසයි, මේ ගැන (පන්දුව පළුදු කිරීම) දිගුකාලයක් ඉහළ මට්ටමේ කතාබහ වේවි.” පොන්ටින් cricket.com.au හමුවේ කීවේය.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හට වසරක ක්‍රිකට් තහනම බැගින් හිමිවුණේ පසුගිය මාර්තු මාසයේ දීයි. දකුණු අප්‍රිකාවේ දී සිදු කළ පන්දුව පළුදු කිරීමක් සම්බන්ධව පැහැදිලි වැරදිකරුවන් වූ ඔවුන් දෙදෙනා සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් හට දඬුවම් හිමි විය. බෑන්ක්‍රොෆ්ට් සිය මාස 6ක ක්‍රිකට් තහනම පසුකොට මේ වන විට ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියි. ස්මිත් සහ වෝනර් යුගලය මීළඟ IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අදිටනින් පසුවෙයි. ස්මිත් සහ වෝනර්ගේ නැවත පැමිණීම නිසා ඕනෑවට වඩා අවධානයක් කණ්ඩායමටම ලැබේවි ද යන්න ගැටලුවකි. ඔවුන් පන්දුව අතට ගනිද්දී පවා ප්‍රේක්ෂකයන් ඒ  සුපරික්ෂාකාරීව බැලීම නවත්වන්නට අපහසු වනු ඇත.

“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට …..

අභ්‍යන්තරික වශයෙන් ක්‍රීඩකයන්ට මෙය එතරම් අභියෝගයක්ය කියලා මා හිතන්නේ නැහැ. ඔබ හිතාවි ඔවුන් මේ ගැන කතා කරමින් ඉන්නවාය කියලා. එහෙනම් ඔවුන් එය කණ්ඩායමට බලපෑමක් වෙන තෙක් අවසන් මිනිත්තුව දක්වා නොඉන්නවා වෙන්න පුළුවන්.” පොන්ටින් කීවේය.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දී උත්සාහයෙන් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට එම තරගාවලිය 2-2ක් ලෙස සම කරගෙන තිබේ. උක්ත ක්‍රීඩකයන්ගේ අහිමි වීමත් සමඟ යම් පීලි පැනීමකට ලක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට හොඳින් ක්‍රීඩා කරන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් පොන්ටින් පවසන්නේ කණ්ඩායමටම අවලාද නැගෙන බව හඳුනා ගෙන සිටිය යුතු බවයි.

එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක කුසලානයට ඔවුන් (ස්මිත් සහ වෝනර්) නැවත පැමිණේවි. ඔවුන්ට ලොකු සහයක් ලැබේවිය කියලා නම් ඔවුන් සිතිය යුතු නැහැ. ඔවුන් යන හැම තැනක දී ම ඔවුන්ට එය එක්ක ගනුදෙනු කරන්නට වේවි. ඔවුන් එය දැනගෙන, භාරගෙන, තේරුම්ගත යුතුයි.”

දෙවරක් ලෝක කුසලානය ජය ගත් ලෝක ශූර ක්‍රිකට් නායකයෙකු වන පොන්ටින් දැඩි මතධාරියෙකු ලෙස ප්‍රකටය. මේ මොහොතේ දී පවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ ද, ඕනෑවට වඩා ක්‍රීඩකයන්ව රෝස මල් මත පා කිරීම පොන්ටින්ගේ සිරිත නොවේ.

කණ්ඩායමත් සූදානම් විය යුතුයි. මොකද ඔවුන්ටත් ඔවුන්ව කලබලයට පත්කරන දේවල් අසන්නට ලැබේවි.” පොන්ටින් කීවේය.

මං හිතන්නේ ඔවුන්ට එය හසුරුවා ගැනීමට තරම් ශක්‍යතාවයක් තිබෙනවා. ඒත් මා හිතනවා ඔවුන්ට එය නැවත පැමිණීමේ දී කම්පනයක් විය හැකි බව. ඔවුන්ට අතිශයින්ම නරක දේවල් බලාපොරොත්තුවෙන් සිටින්නට වෙනවා. එතකොට ඊට වඩා යම් තරමකින් හෝ හොඳ දෙයක් සිදුවීම ඔවුන්ට වාසියක් විය හැකියි. මම ඔවුන් වුනා නම් මම ඒක හසුරුවා ගන්නේ එහෙමයි.” පොන්ටින්ගේ අදහස පැහැදිලිය.

ඕනෑවට වඩා තමන්ව පරික්ෂාවට ලක්කිරීම ගැන ස්මිත් සහ වෝනර් කලබල නොවිය යුතු බව ඔහු කියයි. එමෙන්ම ඔවුන්ගේ දස්කම් පවත්වා ගැනීම ද මෙහිලා වැදගත් වන බව පොන්ටින් විශ්වාස කරයි.

ක්‍රිකට් ක්‍රීඩාව කැමරාවෙන් අඳින හැටි

පසුගිය  දස වසරක කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ සජීව දර්ශන වල තීව්‍රභාවය සහ තාක්ෂණය …

“ඔවුන්ට ලකුණු ගහන්නත් බැරි වෙලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් පරාජය වුනොත් නම් තත්වය තවත් අපහසු වේවි.”

රිකී පොන්ටින් යනු දැන දැනම ක්‍රීඩකයන්ව පීඩනයට පත් කරන්නට තරම් ආධුනිකයෙකු නොවේ. එහෙත් ඔහු ඉන් එහා ගිය දක්ෂ උපදේශකවරයෙකි. ඔහු මෙවර සිදු කරන්නේ අවශ්‍ය තරමේ පීඩනයක් ස්මිත් සහ වෝනර් මතට දැමීමයි. ඇතැම් විට තරගාවලියේ දී ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස ඒ පීඩනය විය හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<