එංගලන්ත සුපිරි තරුවකට ටෙස්ට් පිටියෙන් තාවකාලික නිවාඩුවක්

79

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ටෙස්ට් තරගවලින් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්තය ඉදිරියේ දී සහභාගි වීමට නියමිත නවසීලන්ත හා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලි සඳහා ඔහු සහභාගි නොවනු ඇත. 

මසකඩ්සාට ගෞරවාන්විත සමුගැනීමක්

බංග්ලාදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා…

පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මධ්‍ය ගිවිසුම්ගත් ක්‍රීඩක ලැයිස්තුවට මොයීන් අලී ඇතුළත් නොවීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබූ අතර එය මොයීන්ගේ මෙම තීරණයට විශාල බලපෑමක් සිදුකර ඇත. පසුගිය දා නිමා වූ ඕස්ට්‍රේලියා – එංගලන්ත අළුබඳුන තරගාවලියේ පළමු තරගය එංගලන්තය පරාජය වීමත් සමඟින් ඔහුට ටෙස්ට් තරගාවලියේ තම ස්ථානය අහිමි විය. 

ESPNcricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මොයීන් පවසා ඇත්තේ ඔහුට “බැටරි නැවත ආරෝපණය කරගැනීමට” (recharge his batteries) අවස්ථාවක් අවශ්‍ය බවයි. 

“මම ගොඩක් කාර්‍යබහුල මාස කීපයක් ගත කළා. ඒකෙන් මිදෙන්න යම් කාලයක් අවශ්‍ය වුනා. මට දැනෙනවා මට අවශ්‍යයි  මගේ පිතිකරණය ගැන අවධානය යොමු කරන්න. මේක ඒකට විවේකයක් වේවි.”

“මට මගේ පවුලේ අය එක්ක ටිකක් ඉන්න ඕන. මම එංගලන්තය වෙනුවෙන් දැන් අවුරුදු 5ක් ක්‍රීඩා කළා. ඒක ගොඩක් අමාරු දෙයක්. ටෙස්ට් තරගවල පීඩනය වැඩියි. ඒක නිසා මට විවේකයක් අවශ්‍ය වුනා. අපි බලමු මේකෙන් පසුව කුමක්ද වෙන්නේ කියලා.” 

මොයීන් අලී එංගලන්තය වෙනුවෙන් ඉදිරියේ දී ටෙස්ට් තරග සඳහා සහභාගි වනු ඇතැයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ඈශ්ලි ගිල්ස් මහතා පවසා සිටියා. 

“ඔහු ටෙස්ට් තරගවලින් සමුගෙන නෑ. ඔහුට විවේකයක් අවශ්‍ය වුනා.” ගිල්ස් පවසා සිටියා. 

“මොයීන් එංගලන්තය වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් ඉටු කළ ක්‍රීඩකයෙක්. ඒක නිසා මම ඔහුට කැමැත්ත පරිදි නැවත ටෙස්ට් තරගවලට එක්වීමට අවස්ථාව ලබා දුන්නා. ඔහුට කාලයක් අවශ්‍ය වුනා නැවුම් ආරම්භයක් ලබාගැනීමට. ඔහු කණ්ඩායම වෙනුවෙන් ලොකු වගකීමක් ඉටු කළ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු අනෙක් ක්‍රීඩකයන් සමඟ බලන විට තරුණ ක්‍රීඩකයෙක්.” 

2019 ලෝක කුසලානයේ දී එංගලන්තය වෙනුවෙන් මොයීන් තරග 5කට ක්‍රීඩා කළේය. 

ටෙස්ට් තරගවල දී යම් අසාර්ථකත්වය පෙන්වූවද මොයීන් පසුගිය වසරේදී  එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස සංචිත තුනම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකරගත් මොයීන් පසුගිය මෙම වසරේ දී යම් පසුබෑමක් පෙන්විය. 

එක්දින සංචිතයේ මොයීන්ගේ ස්ථානය ලියම් ප්ලන්කට්ට හිමි වූ අතර ටෙස්ට් තරග දෙකක දී අසාර්ථක වීම නිසා ඔහුගේ ස්ථානය ජැක් ලීච්ට හිමි විය. 

“මම හිතන්නේ මොයීන්ට විතරක් නෙමෙයි සෑම ක්‍රීඩකයෙක්ටම මේ මාස කීපය අමාරු කාලයක් වුනා. ලෝක කුසලානය නිමා වීමත් සමඟම ඔවුන්ට අළුබඳුන තරගාවලියට මුහුණ දීමට සිදු වුනා. ඒක ගොඩක් ක්‍රීඩකයන්ට ලොකු වගකීමක් වගේම ලොකු පීඩනයක් වුනා. ශාරීරිකව වගේම ශාරීරික යෝග්‍යතාව අතිනුත් අභියෝගයක් වුනා. සමහර ක්‍රීඩකයන්ට තවමත් ඒ පීඩනය තියනවා. මොයින්ට පළමු ටෙස්ට් තරගය එතරම් සාර්ථක එකක් වුනේ නෑ. නමුත් ඒක තමයි ක්‍රිකට් කියන්නේ.” ගිල්ස් පවසා  සිටියා. 

මොයීන් සීමිත පන්දුවාර සඳහා වන ගිවිසුමට එළඹ ඇති අතර ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින හා විස්සයි විස්ස තරග සඳහා ඉදිරියේ දී සම්බන්ධ වනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<