“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

4387
Ball tampering
Courtesy - imgci.com

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ කුමකටද? මෑත දී වැඩිපුර කතාබහට පාත්‍ර වූ මේ මාතෘකාව ගැන හොඳින්ම විමසිය හැක්කේ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමෙනි. පන්දුව පළුදු කිරීම ගැන වැඩිම චෝදනා ලැබූවන් ඔවුන් වන නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පළමු පෙළ ක්‍රිකට් මට්ටමේ දී හෝ පන්දුව පළුදු කිරීම සිදුකර නැතිනම් එය පුදුමයක් විය හැකිය. එහෙත් එය සදාචාරාත්මක ද?

[rev_slider LOLC]

2 Ws (වසීම් සහ වකාර්)

@dnaindia.com – වසීම් සහ වකාර් තරම් ප්‍රති-දෝලනය කිරීමේ විශිෂ්ටයන් අප දැක නැත

පන්දුව පළුදු කිරීම සහ ඔප දැමීමත් එක්තරා කලාවකි. ක්‍රිකට් ඉතිහාසය පුරාම සිදුවී ඇති මෙය කලාත්මකව සිදු කළ හැකි නම් එය ද පිටිය මත දක්වන විස්කමකි. 80 සහ 90 දශකය තුළ පැරණි පන්දුවෙන් පන්දු දෝලනය සිදු කිරීම අතින් ලොව ප්‍රබලයන් වූ වකාර් යුනස් සහ වසීම් අක්‍රම් මේ පිළිබඳ විශේෂඥයන් ය. පැරණි පන්දුවෙන් පන්දු යැවීමට ඔවුන් දැක්වූ දක්ෂතාවය ඉන් මැකී නොගියත්, බොහෝ දෙනා ඔවුන්ට චෝදනා කළේ පන්දුව පළුදු නොකළේ නම් එතරම් ප්‍රති දෝලනයක් පන්දුව මත යෙදිය හැකි ද යනුවෙනි.

උදාහරණයක් වශයෙන් පාකිස්තානු කණ්ඩායමේ ලකුණු 200ක වැනි ටෙස්ට් ඉලක්කයක් හඹා යන ප්‍රතිවාදීන් පන්දු ඕවර 35ක් පමණ ගතවෙද්දී කඩුලු 2කට ලකුණු 130ක් පමණ ලබා සිටියේ යැයි සිතන්න. එහෙත් පන්දුව පරණ වීමත් සමඟ පන්දු යැවීමට එළඹෙන මේ ප්‍රබලයන් දෙදෙනාට පන්දු ඕවර 10ක් පමණ ඇතුළත දී ඉතිරි සියලු පිතිකරුවන් දවා ගනිමින් තරගය පාකිස්තානයට ලබා දීමේ හැකියාව තිබුණි. මෙය අතිශයෝක්තියක් නොවේ. ඔබට ඉතිහාසය විමසිය හැක. එවන් අවස්ථාවල දී ඔවුන් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ වරක් දෙවරක් නොවේ.

මේ දෙදෙනා එක්ව ටෙස්ට් තරග 56ක දී කඩුලු 476ක් දවා ගත්තේ මේ සුවිශේෂී හැකියාවත් ඇතුළත්වයි.

වසරක නිවාඩුවක් ලද දෙපල

@sl.sbs.com.au – ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා වරදට හසුවිය

පන්දුව පළුදු කිරීමේ මාතෘකාව මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නට හේතු වූයේ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බෑන්ක්‍රොෆ්ට්, වැලි කඩදාසියක් උපකාරයෙන් පන්දුව පළුදු කිරීම ලොව පුරා සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සජීව ලෙස නරඹන්නට හැකි වීමයි. ඒත් සමඟින් ක්‍රිකට් ප්‍රජාවම කැලඹීමට පත්වූ අතර සිද්ධියට සම්බන්ධ ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට දරුණු ලැජ්ජාවකට පත්වීමට සිදුව ඇත.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් වරද ප්‍රසිද්ධියේම පිළිගැනීම නම් මෙතෙක් අප ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගෙන් නුදුටු දසුනක් වුවත් ස්මිත්ට වසරක තරග තහනමකුත්, බෑන්ක්‍රොෆ්ට් හට මාස 9ක තහනමකුත් හිමි විය. ඊට අනුබල දුන් ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඩේවිඩ් වෝනර් හට ද වසරක තරග තහනමක් හිමි විය. පසුව ඕස්ට්‍රේලියානු රජය විසින් අදාළ ක්‍රීඩකයන් දෙදෙනාව නැවත ඕස්ට්‍රේලියාවට කැඳවූයේ ඕස්ට්‍රේලියානු පුවත්පත් සහ ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ දැඩි අප්‍රසාදය ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට එල්ලවෙද්දී යි.

එය කුමක්ද?

@aimages.willow.tv – පන්දුවේ එක් පැත්තක් රළු කරන අතර අනෙක් පැත්ත ඔප දමනු ලැබේ

ක්‍රිකට් තරගයක් තුළ දී පන්දුවේ තත්වය වෙනස් කිරීම නීති විරෝධී ක්‍රියාවකි. ඉන් පන්දුවට පහර දෙන කණ්ඩායමට අවාසියක් සිදුවිය හැකි නිසා ඒ පිළිබඳ නීති රීති පනවා ඇත.

පන්දුව පළුදු කරන්නට ක්‍රීඩකයන් පෙළෙඹෙන්නේ ඇයි?

@wikihow.com – Reverse-swing නම් හැකියාව

පන්දු යවන කණ්ඩායම පන්දුව පළුදු කිරීමට පෙලඹෙන්නේ කුමකට දැයි ඇතැමෙකුට පැනයක් ඇතිවිය හැක. ඒ මේ නිසයි. පන්දු රකින්නන් ඇතැම් විට පන්දුවේ කෙල තවරමින් එය කලිසම මත ඔපදමමින් සිටිනයුරු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් අලුත් දසුනක් නොවේ. පන්දුවේ එක් පැත්තක් ඒ අයුරින් ඔප දමන විට අනෙක් පැත්ත දෙස කිසිදු අවධානයක් නොදී එය පරණ වීමට ඉඩහරිනු ලැබේ. මෙසේ කිරීමෙන් පන්දුව ගුවනේ දී දෝලනය වීමේ හැකියාව වර්ධනය වේ. ඔප ඇති පැත්ත පිතිකරු වෙතට ඉක්මණින් ගමන් කරද්දී පළුදු වූ පැත්ත සෙමෙන් ගමන් කිරීම නිසා පන්දුවේ ගමන් මඟේ වෙනසක් ඇතිවී ගුවනේ දී දෝලනයක් ඇතිවේ. එවිට පන්දුව සාමාන්‍ය තත්වයන් යටතේ දෝලනය වෙමින් ගමන් කරන මාර්ගය වෙනස් වී අනෙක් අතට දෝලනය (Reverse – swing) වීම සිදුවේ.

කෙසේ නමුත් එක් පැත්තක් ඔප දැමීමටත්, අනෙක් පැත්ත රළු කිරීමටත් පිටිය මැද දී නොයෙක් උපක්‍රම පන්දු රකින කණ්ඩායම විසින් භාවිතා කෙරේ. එහෙත් නීත්‍යනුකූල බවට සැලකෙන්නේ ඉන් කිහිපයක් පමණයි.

වකාර් යුනස් පන්දුව Reverse-swing කිරීමේ ශූරයෙකි

නීතික සහ අනීතික ක්‍රම

චුවින්ගම් වලට කළ හැක්කේ කුමක්ද?

පන්දුව මත කෙළ තැවරීම කළ හැකිය. දහදිය තැවරීම ද ඒ අයුරින්ම සිදුවන අයුරු අපි දැක ඇත්තෙමු. ක්‍රිකට් ක්‍රීඩකයන් දැඩි ලෙස චුවින්ගම් වලට ඇබ්බැහි වූවන් යැයි ඔබ ක්‍රිකට් තරග නැරඹීමේ දී සිතනවා ඇති. එහෙත් චුවින්ගම් වල ඇති යම් යම් සංඝටකයන් කෙළ වලට එකතුවී පන්දුව මත තැවරූ විට පන්දුව ඔප දැමීම වඩා වේගවත් වේ. මෙය නීත්‍යානුකූල ක්‍රමයක් සේ සැලකිය හැකිය.

නියපොතු භාවිතය

ක්‍රීඩකයන් ඇතැම් විට නියපොතු භාවිත කරමින් පන්දුවේ රළු පැත්ත වඩාත් රළු කිරීමේ යෙදෙන බව අපි අසා ඇත්තෙමු. එහෙත් ජාත්‍යන්තර තරගවල දී භාවිත වන කැමරා ප්‍රමාණය සහ ප්‍රතිවාදීන්ගේ දැනුවත්භාවය නිසා නියපොත්තෙන් පන්දුව පළුදු කිරීම එතරම් පහසු නැත.

කලිසම් සාක්කු, මලු බවට පත්කිරීම

සමහරක් අවස්ථාවල දී පන්දු රකින්නන් තම සාක්කුවල වැලි පුරවාගෙන හෝ ලී කුඩු පුරවාගෙන පන්දුව පළුදු කිරීමේ යෙදෙයි.

වැස්ලින් සහ සන්ස්ක්රීන් (Vaselin & Sunscreen)

ක්‍රීඩකයන් පිටිය තුළ දී හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීමට සන්ස්ක්රීන් සහ සම පැලී යාම වළක්වා ගැනීමට වැස්ලින් භාවිතා කරයි. ඇතැම් විට එවන් දෑ පන්දුව මත ආලේප කිරීම සිදුව ඇත. එහෙත් එය නීති විරෝධී කටයුත්තක් ලෙසයි සැලකෙන්නේ.

සපා කෑම

ඇතැම් අවස්ථාවල පන්දු රකින කණ්ඩායම් පිතිකරුවන් දවා ගැනීම කෙරෙහි කෙතරම් උත්සුක වීද යත් පන්දුව සපා කමින් එක පැත්තක් රළු කිරීම සිදු කිරීමට ගොස් ක්‍රීඩකයන් දඩ කෑ අවස්ථා ද තිබිණි.

දඩ කෑ අය සහ හසුවූ අය

@lbimg.in.com – ෂහීඩ් අෆ්රිඩි පන්දුව සපා කෑමේ වරදට තරග දෙකක තහනමකට ලක්විය.

පළමු පෙළ සහ අන්තර් සමාජ ක්‍රීඩකයන් නොයෙක් ක්‍රමවලට පන්දුව ඔප දමමින්, රළු කරමින් ක්‍රීඩාවේ යෙදෙද්දී ජාත්‍යන්තර ක්‍රීඩකයන් ද දක්ෂ ලෙස පන්දුවේ ස්වභාවය වෙනස් කළේ කිසිවෙකුට නොදැනෙන අයුරිනි. එහෙත් කැමරා තාක්ෂණය සහ නීති රීති දැඩි වීමත් සමඟින් ජාත්‍යන්තරයේ දී එය සිදු කිරීම පහසු වී නැත. පන්දුවේ තත්වය වෙනස් කරන්නට ගොස් “හසුවූ” ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගැන මෙසේ අපගේ මතකයේ ඇත.

1977දී එංගලන්ත ක්‍රීඩක ජෝන් ලිවර් තම හිස මත වූ පටියේ තිබූ වැස්ලින් පන්දුව මත ආලේප කළ බවට චෝදනා ලැබීය.

නවසීලන්ත ක්‍රීඩක ක්‍රිස් ප්‍රින්ගල් 1990දී පන්දුව පළුදු කළ බව පිළිගත්ත ද එකල වීඩියෝ සාක්ෂි අද මෙන් ප්‍රබල නොවූ බැවින් ආරක්‍ෂිත විය.

එංගලන්ත ටෙස්ට් නායකයෙකු වූ මයිකල් ඇතර්ටන්, 1994 දී සාක්කුවේ දුහුවිලි පන්දුව මත ඇතිල්ලීම නිසා පවුම් 2000ක දඩයකට යටත් විය.

2001 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේ දී දැවැන්ත ප්‍රතිරූපයක් වන සචින් ටෙන්ඩුල්කාර්ද ඉන්දියානුවන් වෙනුවෙන් පන්දුවේ සීමය නියපොතුවලින් වෙනස් කළ බවට චෝදනා ලැබීය. එහෙත් පසුව ICCය කියා සිටියේ ඔහු නිර්දෝෂී බවයි.

2000 දී පාකිස්තානු ප්‍රබල වේගපන්දු යවන්නෙකු වූ වකාර් යුනස්, එංගලන්තයට එරෙහි තරගයක දී පන්දුව පළුදු කොට තරග තහනමකට ලක්වූ පළමුවැන්නා බවට පත්විය.

2003 වසරේ එක්දින තරගයක දී පාකිස්තානු වේගපන්දු ක්‍රීඩක ෂොයිබ් අක්තාර් පන්දුව සීරීම නිසා තරග දෙකක තහනමකට ලක්විය.

2004 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයක දී ඉන්දියානු ක්‍රීඩක රාහුල් ද්‍රාවිඩ් ද පන්දුව පළුදු කළ වරදට තම තරග මුදලින් 50%ක දඩයක් කෑවේය.

2006 තරගයක දී එංගලන්තයට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාව ලද පාකිස්තානු කණ්ඩායම තේ පානයෙන් පසු නැවත පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසා එංගලන්තයට ජය ලබා දීමට විනිසුරුවන් තීරණය කළේය.

2010 වසරේ දී එංගලන්ත ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් උල් සහිත සපත්තුවෙන් පන්දුව පාගා දැමීම ගැන චෝදනාවකට ලක්විය.

2010 වසරේ දී පාකිස්තානු ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි පන්දුව සපාකෑමේ වරදට තරග දෙකක තහනමකට ලක්විය.

වඩාත් මෑතක දී මෙම චෝදනාවට ලක්වූයේ දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆෆ් ඩු ප්ලෙසි ය. 2013 දී ද කලිසමේ සිපරය මත පන්දුව ඇතිල්ලීම නිසා ඔහුට දඩයක් නියම වූ අතර 2016 වසරේ දී සපමින් සිටි යම් රසකැවිල්ලක් පන්දුව මත ආලේප කළ බවට චෝදනා ලැබීය. එවර දකුණු අප්‍රිකාවේ ප්‍රතිවාදීන් වූ ඕස්ට්‍රේලියානුවන් මෙවර චූදිතයන් වූ ආකාරය නම් සැබවින්ම දෛවෝපගත ය.

ඇස් තුනකින්?

ක්‍රිකට් යනු පිතිකරුවන්ට පමණක් උරුම ක්‍රීඩාවක් නොව, තරගකාරී ක්‍රීඩාවකි. එය ජය ගැනීමට පන්දු රකින්නන්ට සහ පන්දු යවන්නන්ට ද දැඩි වෙහෙසක් ගන්නට සිදුවේ. එහෙත් වාග් ප්‍රහාර, පන්දුව පළුදු කිරීම වැනි “කලාවන්” මෙවන් අයුරකින් අපයෝජනය කිරීම සුදුසු නැත. ඔබට පන්දුව හතරේ සීමාවේ සිට කඩුලු රකින්නාට භාර දීමේ දී එක් වරක් බිම පතිත කොට භාර දිය හැක. බිම වදින පැත්ත පන්දුවේ රළු පැත්ත කරගත හැකි නම් එය පන්දුව පළුදු කිරීමේ සාර්ථක ක්‍රමයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සහ ලසිත් මාලිංග කිසිදාක පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් නොලබා දක්ෂ ලෙස පන්දුව දෝලනය කළේය.

@cricketcountry.com, im.rediff.com  – ශ්‍රී ලංකාවේ Reverse-swing ප්‍රමුඛයා චමින්ද වාස් වූ අතර ලසිත් මාලිංග ද එහි දක්ෂයෙකි.

එහෙත් කිසිවක් පහසු නැත. පුදුමය වන්නේ වකාර් – වසීම් යුගලයට කෙතරම් හොඳින් පන්දුව පළුදු කිරීමේ හැකියාව තිබුනේ ද යන්න යි. ඔවුන්ගේ කණ්ඩායම පන්දුව පළුදු කිරීමේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කොට නැති නිසාම, යම් ක්‍රමයකට ඔවුන් එය සිදු කළ බව අපට පැහැදිළි ය. අවසානයේ දී කිවහැකි වන්නේ මෙවන් තාක්ෂණික යුගයක දී ඔබට ක්‍රිකට් ක්‍රීඩාවේ කලාවන් හැදෑරීමට නම්, ඔබ පූර්වජයන් දෙස ඇස් තුනකින්වත් බැලිය යුතු බවයි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<