“නුවන් ප්‍රදීප් තමා අපේ අංක එකේ වේග පන්දු යවන්නා” – ගුරුසිංහ

791
Nuwan Pradeep - SLvIND

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය (26) තුල නුවන් ප්‍රදීප් හැරෙන්නට අන් කිසිදු පන්දු යවන්නෙකුට ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දවා ගැනීමට නොහැකි විය.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පිතිකරණ පාඩමක්!

දීර්ඝ සහ අතිශයින්ම වැදගත් සංචාරයක සමාරම්භය සනිටුහන් කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී…

මෙම තරගයට පෙර අවසන් වරට නුවන් ප්‍රදීප් ටෙස්ට් තරගයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ මේ වසරේ ජනවාරි මාසයේ දී වන අතර, පසුව ඔහු ආබාධයකට ලක්වීම නිසා ටෙස්ට් පිටියෙන් යම් කාලයක් ඉවත්ව වී සිටියේය.

එංගලන්තයේ දී නිමා වූ ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ප්‍රදීප් තරග තුනක් තුල කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. එසේම සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවැත්වූ එක්දින තරගාවලියේ ඔහු සහභාගි වූ තරග තුන තුල දී ඔහු හොඳ ස්ථානවල පන්දු යවමින් පිතිකරුවන් යම් පාලනයකට නතු කර ගත් අතර, අවසානයේ ඔහු පාදයේ කලව ආශ්‍රිතව ආබාධයකට ලක්විය.

“නුවන් ප්‍රදීප් හුඟක් දස්කම්වලින් පරිපූර්ණ ක්‍රීඩකයෙක්. එංගලන්තයේ දී ද ඔහු හොඳින් දස්කම් අතරට පැමිණි අතර, නිමා වූ සිම්බාබ්වේ තරගාවලිය තුල ද ඔහු හොඳින්ම පන්දු යවන්නත් සමත් වුනා. ඔහු දැනට අප සතුව සිටින අංක එකේ පන්දු යවන්නා.” යැයි  තරගයේ පළමු දිනයට පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.

ඔහු ඉතාමත් හොඳින් තෝරා බේරාගෙන පන්දු සංකලනය සිදු කරමින් පන්දු යවන දක්ෂ වේග පන්දු යවන්නෙකි. ඔහු එකවරම එවන කෙටි පන්දුව ඒ අතරින් සුවිශේෂී වන අතර, එම පන්දුවේ  ප්‍රතිඵල ඊයේ දිනය තුල දී ද දැක ගන්නට ලැබුණේ ඉන්දීය නායක විරාට් කෝලි දැවී ගිය අවස්ථාව දී ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ ග්‍රැහැම් ෆෝඩ් මහතා ද නුවන් ප්‍රදීප්ගේ දස්කම් අගය කර තිබුණි. “ප්‍රදීප් සෑම විටම පන්දුව දෝලනය කිරීමට වෙහෙසෙනවා, දැන් ඔහු එය ඉතාමත් හොඳින් නිරායාසයෙන්ම සිදු කරනවා. ඕනෑම තණතීරුවක් ඉක්මනින් හඳුනා ගෙන එයට උචිත ලෙස පන්දු යැවීමේ සුවිශේෂී හැකියාවක් ඔහු සතුව තිබෙනවා. ඔහු ඉතාමත් විශිෂ්ට ඝනයේ වේගපන්දු යවන්නෙක්.” යැයි ඒ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබේ.

ශිකර් ධවාන් ඉන්දීය ආරම්භක ටෙස්ට් සංචිතය තුල සිටියේ නොමැත. මුරලි විජේ  ආබාධයකට ලක්වූ නිසා ධවාන් මෙම ටෙස්ට් සංචිතයට ඇතුළත් විය. “මගේ සැලසුම වූයේ මෙල්බර්න් නුවරට ගොස් මගේ පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමයි. මම හොංකොංවල නිවාඩුවක් ගත කළා. ඒ අතරතුර එක්දින තරගාවලිය සඳහා පුහුණුවීම් ද සිදු කළා. පසුව මම නැවතත් ඉන්දියාවට පැමිණ ඉන්දීය කණ්ඩායම සමඟින් එකතු වුනා. මගේ සැලසුම් ඒවා තමයි. මම හිතන්නේ මගේ ඉරණම වෙනස් වුන එකට  මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා.” යැයි තරගයේ පළමු දිනය තුලම පන්දු 168ක් කුල ලකුණු 190ක් රැස්කරගත් ශිකර් ධවාන් ප්‍රකාශ කළේය.

ඉන්දීය කණ්ඩායම තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 399ක් රැස්කර ගත්තේය. එ් නිසා අවම වශයෙන් ඔවුන් ලකුණු 500 ඉක්මවූ ලකුණක් වෙත ගමන් කරනු ඇතැයි සිතිය හැක. එසේම තරගයේ ආරම්භක දිනයේ දී ම මෙවන් විශාල ලකුණක් ලබාගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව තුල පැවැත්වූ ටෙස්ට් තරගයක පළමු දිනය තුලම  වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම ලෙස පත්වීමටත් ඔවුන්ට හැකි විය. මීට පෙර එම වාර්තාව තැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් 2010 වර්ෂයේ දී වන අතර, එහි දී ඔවුන් ලකුණු 362ක් ලබා ගත්තේ කඩුලු 2ක් පමණක් දවා ගෙනයි. එම තරගය ද මෙම පිටියේ දී ම පැවැත්විය.

“ගාලු පිටියේ දී ලකුණු 600 ඉක්මවා ලැබෙන අභියෝගයක් හඹා යෑම තරමක් අසීරු වේවි. අපේ පිතිකරුවන් ද හොඳ දක්ෂතා අතර පසුවෙනවා. අපි ඉදිරියේ දී (අවසන් දින දෙක තුල) බලමු අපේ පිතිකරුවන් මෙම අභියෝගය කෙසේ  භාර ගනීවි ද කියා.” යැයි අවසානයේ අසංක ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට