නේපාලයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි මතක සපිරි රාත්‍රියක්

SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය 2022

303

ශ්‍රී ලංකා සහ නේපාල 17න් පහළ පාපන්දු කණ්ඩායම් අද (12) කොළඹ තුරඟ තරග පිිටියේ දී SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවයේ දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කළ අතර එහි දී ගෝල 6-0ක් ලෙස ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය වාර්තා කරන්නට නේපාලය සමත් වුනා.

ශ්‍රී ලංකාව ඉකුත් 9 වැනිදා ගෝල 1-0ක් ලෙස මාලදිවයින පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිද්දී, නේපාලය විසින් ඉන්දියාව ගෝල 1-3ක් ලෙස පරාජය කරමින් අද පැවති අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරගාරම්භයට පෙර සිටම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් හිමි වන බව පුරෝකථනය කර තිබූ නමුත් ශ්‍රී ලංකාව ද පහසුවෙන් ප්‍රතිවාදීන්ට දිනන්නට දෙන බවක් තරගාරම්භයේ දී දක්නට ලැබුණේ නැහැ.

තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වන්නේ දඬුවම් පහරකින් වන අතර 21 වැනි මිනිත්තුවේ දී එම දඬුවම් පහර ලබා ගත් නේපාල නායක Prashant Laksam විසින් ශ්‍රී ලංකා ගෝල රකින්නා නොමඟ යවමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා.

ඉන් මිනිත්තු 3ක් ගත වෙද්දී නේපාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ Unesh Budathoki විසින් සාර්ථකව ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා. ඔහු විසින් දුර සිට එල්ල කළ පහරක් කිසිදු බාධාවකින් තොරව ගෝලය තුල නතර වුනේ නේපාල ලකුණු පුවරුව දෙගුණ කරමිනුයි.

30 වැනි මිනිත්තුවේ දී Subash Bam පන්දු යොමුවක් ඔස්සේ ලැබුණ පන්දුව කෙළින්ම ගෝලය තුලට යොමු කරන්නට සමත් වුනේ නේපාල ලකුණු පුවරුව 3ක් දක්වා ඉහළ දමමිනුයි.

නේපාල ක්‍රීඩකයින් සිය ලකුණු පුවරුව 4ක් දක්වා ඉහළ නංවා ගන්නට 37 වැනි මිනිත්තුවේ දී සමත් වුනා. පිටිය මැද දී පන්දුව ලබා ගත් නේපාල නායක Niraj Karki ගෝලය දෙසට දිව එද්දී ශ්‍රී ලංකා ගෝල රකින්නා වන Mohamed Rihas සිය සීමාවෙන් එපිටට යමින් ඔහුව නවත්වන්නට උත්සාහ කළත් Niraj විසින් සාර්ථකව Rihas නොමඟ යවමින් ගෝල රකින්නෙකු නොමැති ගෝලය වෙත සාර්ථකව පන්දුව එල්ල කරන්නට සමත් වුනා.

පළමු අර්ධය ගෝල 4-0ක් ලෙස අවසන් වීමෙන් අනතුරුව නැවතත් පිටියට පිවිසි දෙපිලේම ක්‍රීඩකයින් අතරින් නැවතත් වරක් සාර්ථකව ගෝලයක් වාර්තා කරන්නට නේපාල ක්‍රීඩකයින් සමත් වුනේ ලකුණු පුවරුව ගෝල 5-0ක් දක්වා ඉහළ දමමිනුයි.

එහි දී ගෝල රාමුවට ආසන්න කෙළවරේ සිට පන්දුව පිටිය මැදට තල්ලු කළ නේපාල ක්‍රීඩක Dipak Thapaගෙන් පන්දුව යන්තමින් වළක්වන්නට Rihas සමත් වූ නමුත් එසැණින් ඉවතට ගිය පන්දුවට වැරෙන් පහරක් එල්ල කළ Unesh සාර්ථකව දෙවැනි ගෝලයත් සිය නමට ලියා ගත්තා.

කෙසේ නමුත් ඉන් අනතුරුව 89 වැනි මිනිත්තුව තෙක් ගෝලයක් වාර්තා නොවූ අතර පිටිය මැද පන්දුව සමඟ පොරබදිමින් සිටි Sijal Rai දුර සිට එල්ල කළ පහරක් Rihasගේ දෑත්වලට ඉහළින් ගොස් ගෝලය තුල නතර වුනේ ලකුණු පුවරුව 6ක් දක්වා ඉහළ දමමිනුයි.

ඒ ගෝලයත් සමඟින් නේපාල ක්‍රීඩකයින්ට සුබ රාත්‍රියක් තිළිණ කරමින් තරගය අවසන් වුනේ ගෝල 6-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගනිමිනුයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 6 නේපාලය

  • ගෝල ලාභීන්: Prashant Laksam (21’), Unesh Budathoki (24’ & 51’), Subash Bam (30’), Niraj Karki (37’)

අද සවස පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

එහි දී ඉන්දීය ක්‍රීඩක Thanglalsoun Gangte විසින් ඉන්දීය ගෝල දෙක වාර්තා කළේ 51 සහ 59 වැනි මිනිත්තුවල දීයි. බංග්ලාදේශ ක්‍රීඩක Mirajul Islam විසින් දඬුවම් පහරක් ලකුණු බවට පරිවර්තන කළේ 62 වැනි මිනිත්තුවේ දීයි.

ඒ අනුව එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නේපාලය සහ ඉන්දියාව තරග වැදීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<