ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ආරම්භයක්

312

2019 යොවුන් දැල්පන්දු තරගාවලිය අද (29) ජපානයේ දී ආරම්භ විය. ඒ සඳහා සහභාගි වන 12 දෙනෙකුගෙන් යුත් සංචිතය පසුගිය දා ජපානයට පිටත් විය. 

තරගාවලියේ ආරම්භක දිනයේ දී ම ප්‍රබල ආරම්භයක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ දකුණු කොරියාවට එරෙහිවයි. එම තරගයේ දී ලකුණු 95-07ක් ලෙස දකුණු කොරියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. තරගය ජපානගේ කශීමා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. 

යොවුන් දැල්පන්දු තරගාවලිය යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රි ලංකා දැල්පන්දු සම්මේලනය (Netball Federation of Sri Lanka- NFSL) විසින් මෙම වසරේ ජපානයේ පැවැත්වීමට……….

2015 වසරේ යොවුන් ආසියානු දැල්පන්දු ශූරියන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට 2017 දී පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත්විය. 

තරගයේ ආරම්භක කාර්තුවේ දී ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහි දී ඔවුන් ලකුණු ලබා ගැනීමට උත්සාහයන් 40ක් ගත් අතර එයින් අවස්ථා 37ක්ම සාර්ථක කරගැනීමට ඔවුන් සමත් විය. එම සියලු ලකුණු මෙලනි විජේසිංහ විසින් වාර්තා කළාය. පළමු කාර්තුවේදී දකුණු කොරියාව වාර්තා කළේ එක් ලකුණක් පමණි. එම ලකුණ චෝ එස්. වයි. විසින් වාර්තා කළාය. ඒ සඳහා ඔවුන් උත්සාහයන් 5ක් ගෙන තිබුණි. 

තරගයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය යම් තරමකින් අඩු කිරීමට දකුණු කොරියාව සමත්වුවද ලකුණු ලබා ගැනීම නැවැත්වීමට ඔවුන්ට නොහැකි විය. එම කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 23ක් වාර්තා කළේය. මෙලනි විජේසිංහ උත්සාහයන් 18කින් ලකුණු 17ක් වාර්තා කළ අතර දෙව්නා රන්දෙණි තම උත්සාහයන් 6 ම සාර්ථක කරගත්තාය. 

මෙම කාර්තුවේ දී ද දකුණු කොරියාවට ලබා ගත හැකි වූයේ ලකුණක් පමණි. ඒ අනුව දෙවන කාර්තුව නිමා වන විට ලකුණු 60-02ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.

පළමු කාර්තු දෙකෙන් අනතුරුව මෙලනි විජේසිංහ විවේක ගැන්වූ අතර ඉමාශා පෙරේරා කණ්ඩායමට ඇතුළත් විය. තුන්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ 22ක දී ලකුණු 18ක් වාර්තා කළ අතර එහි දී දෙව්නා ‍රන්දුණු ලකුණු 11ක් ද, ඉමාශා පෙරේරා ලකුණු 7ක් ද වාර්තා කළාය. එම කාර්තුවේ දී දකුණු කොරියාව ලබා ගත්තේ ලකුණු 2ක් පමණි. 

සිව්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙව්නා ‍රන්දුණු තම උත්සාහයන් 10ම සාර්ථක කර ගත් අතර ඉමාශා පෙරේරා ලකුණු 7ක් කණ්ඩායමට එක් කළාය. එම කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක් වාර්තා කළ අතර දකුණු කොරියාව ලකුණු 3ක් වාර්තා කරන ලදි. ඒ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය ලකුණු 97-07ක් ලෙස දැක්විය. 

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවයේ මීළඟ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය හමුවීමට නියමිතයි. එම තරගය හෙට (30) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30ට ආරම්භ වේ. 

2019 යොවුන් දැල්පන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<