දකුණු පළාත් ශූරතාවය රිච්මන්ඩ් කන්දට!

234

සිය පරම ප්‍රතිවාදීන් වන සාන්ත ඇලෝසියස් විද්‍යාලය පරාජය කරමින් Dialog අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ දකුණු පළාත් අදියරේ කුසලාන ශූරතාවය දිනා ගන්නට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අද (31) සමත් වුනා. ඒ ලකුණු 21-7ක් ලෙසයි.

තරගාවලිය පැවැත්වුණේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දීයි. කුසලාන අවසන් මහා තරගයට තියුණු ආරම්භයක් ලබා දෙමින් රිච්මන්ඩ් කණ්ඩායමේ තිලෝෂ මෙන්ඩිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා.

සාන්ත ඇලෝසියස් කණ්ඩායම වෙනුවෙන් ශෙහාන් මනිල්ක ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙක් මැඩලමින් සිය කණ්ඩායම නැවතත් තරගයට රැගෙන ආවා. ප්‍රසාද් සංජන රිච්මන්ඩ් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරද්දී පළමු අර්ධය අවසන් වුනේ ලකුණු 14-07ක් ලෙසයි.

දෙවැනි අර්ධයේ දී රිච්මන්ඩ් කණ්ඩායම තරගය සිය ග්‍රහණයට ගත්තා. තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී මෙන්ඩිස් වාර්තා කළ උත්සාහක දිනුමෙන් තරගයේ ජය රිච්මන්ඩ් කණ්ඩායම ස්ථිර කරගත්තා.

අවසන් ලකුණු තත්වය: රිච්මන්ඩ් විද්‍යාලය 21 (3T, 3T) – සාන්ත ඇලෝසියස් විද්‍යාලය 7 (1T, 1C)

පළමු අදියරේ දී දෙබරවැව මධ්‍ය විද්‍යාලය ලකුණු 77-00ක් ලෙස පරාජය කරන්නට රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සමත් වුනා. සාන්ත සර්වේසස් විද්‍යාලය තරගාවලියට සහභාගී නොවීම නිසා දෙවැනි තරගයෙන් ඔවුන්ට නිතරග ජයක් හිමි වුනා.

තෙවැනි තරගයේ දී දේවපතිරාජ විද්‍යාලය ලකුණු 29-00ක් ලෙස පරාජය කරමින් රිච්මන්ඩ් කණ්ඩායම කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය තියුණු තරගයකින් පසුව රාහුල විද්‍යාලය ලකුණු 7-5ක් ලෙස පරාජය කළා. ඔවුන් සිය දෙවැනි තරගයේ දී විද්‍යාලෝක විද්‍යාලය ලකුණු 60-00ක් ලෙස පරාජය කළ අතර මහින්ද විද්‍යාලය ලකුණු 24-00ක් ලෙස පරාජය කරමින් කුසලාන අවසන් මහා තරගයට පිවිසුණා.

  • තරගාවලියේ වීරයා – තිලෝෂ මෙන්ඩිස් (රිච්මන්ඩ්)
  • ජනප්‍රියම කණ්ඩායම – රාහුල විද්‍යාලය

පලිහ ශූරතාවය

විද්‍යාලෝක විද්‍යාලය නිතරගයෙන් පලිහ ශූරතාවය දිනා ගත්තා.

බඳුන අවසන් මහා තරගය

බඳුන අවසන් මහා තරගය පැවැත්වුණේ මහින්ද විද්‍යාලය හා දෙබරවැව විද්‍යාලය අතරයි. තරගය පුරාවට මහින්ද විද්‍යාලය ලකුණු 39 ක් රැස් කළ අතර සදීම ගිම්හාන් මහින්දය වෙනුවෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ද රැස් කළා.

දෙබරවැව ක්‍රීඩකයින් දෙදෙනෙක් එකිනෙකා හා ගැටීම නිසා ඔවුන් ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවතට රැගෙන ගිය අතර එතැනින් තරගය ද අතහැර දැමුණා.

මහින්ද විද්‍යාලය 39 – 00 දෙබරවැව විද්‍යාලය

පලඟ අවසන් මහා තරගය

දේවපතිරාජ විද්‍යාලය හමුවේ රාහුල විද්‍යාලය ලකුණු 17-00ක් ලෙස පරාජය වුනා. රන්මින්, දසනායක හා ගීසරගේ උත්සාහක දිනුම්වලින් දේවපතිරාජ ලකුණු පුවරුව සැකසී තිබුණා.

දේවපතිරාජ විද්‍යාලය 17-00 රාහුල විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට<<