ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය මගින් පවත්වනු ලබන අනතර් පළාත් වයස අවුරුදු 19 පහල ක්‍රිකට් තරඟාවලියේ තවත් සතියක තරඟ කිහිපයක් මැයි මස 02 සහ 03 යන දෙදින පුරා පැවැත්විණි.

 තෙවන සතියේ ජය දකුණට 

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා ඌව පළාත් කණ්ඩායම (කෝල්ට්ස් පිටියේදී)

පළමුව පන්දුවට පහරදුන් උෟව පළාත් කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 44 යි එක් පන්දුවකදී ලකුණු 116 ක් ලබා ගන්නා ලදි. එහිදී ගයාන් ප්‍රීතිමල් ලකුණු 43 ක් හා නෙරංජන වන්නිආරච්චි ලකුණු 24 ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී විමුක්ති කුලතුංග ලකුණු 41 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

එයට පිළිතුරු ලෙස පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 58 යි එක් පන්දුවකදී  කඩුලු 9 ක් දැවී ලකුණු 341 ක් ලබාගෙන යම් ස්ථාවර අඩිතාලමක් සකස් කරගෙන ඉණිම අත්හිටුවන ලදි. එහිදී දක්ෂ ලෙස පිතිහරඹයක නිරත වූ තනුක දාබරේ ලකුණු 100, මනෙල්කාර් ද සිල්වා ලකුණු 85 ක් ලබා ගන්නා ලදි. එයට සහය වූ පැතුම් නිස්සංක ලකුණු 67 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී අවිදු තීක්ෂණ ලකුණු 84 කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.

අනතුරුව තම දෙවන ඉණිම ආරම්භ කල උෟව පළාත් කණ්ඩායමට පන්දුවාර 37යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 128 ක් පමණි. එහිදී නවීන් හසරංග ලකුණු 54 ක් හා අවිදු තීක්ෂණ ලකුණු 46 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී විමුක්ති කුලතුංග ලකුණු 63 කට කඩුලු 6 ක් දවාලීමට සමත් විය.

ඒ අනුව එම තරඟය බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම ලකුණු 97 කින් ජයග්‍රහණය කරන ලදි.

ඡායාරූප ඇල්බය සඳහා පිවිසෙන්න

වයඹ පළාත් කණ්ඩායම හා උතුරු පළාත් කණ්ඩායම (ආර්.ප්‍රේමදාස පිටියේදී)

පළමුවෙන් පන්දුවට පහරදුන් උතුරු පළාත් කණ්ඩායම තම නියමිත පන්දුවාර 65 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 223 ක් ලබා ගන්නා ලදි. එහිදී ජෙනී ෆෙලෙමින් ලකුණු 63 ක් හා අයන සිරිවර්ධන ලකුණු 59 ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී රොමේෂ් රණසිංහ ලකුණු 15 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

අනතුරුව පන්දුවට පහරදුන් වයඹ පළාත් කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 51 පන්දු 2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 228 ක් ලබා ගන්නා ලදි. රොමේෂ් රණසිංහ නොදැවී ලකුණු 40, ඩිල්ශාන් කොලුරේ ලකුණු 40 ක් හා කමේෂ් නිර්මාල් ලකුණු 38 කින් දායකත්වය ලබාදුන් අතර වී. ජතුශාන් හා කේ.කපිල්රාජ් ලකුණු 59 කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

අනතුරුව පිටියට  පිවිසි උතුරු කණ්ඩායම තම දෙවන ඉණිමට පන්දුවාර 50 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගන්නා ලදි. එහිදී සී. තෙවරප්‍රශාන්ත් ලකුණු 25 ක් හා අයන සිරිවර්ධන ලකුණු 23 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී ඩිල්ශාන් කොලුරේ ලකුණු 6 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය. අනතුරුව ලකුණු 112 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි වයඹ කණ්ඩායම පන්දුවාර 26 යි පන්දු 3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 115 ක් ලබා තරඟය ජයග්‍රහණය කරන ලදි. එහිදී වනිත වන්නිනායක ලකුණු 44 ක් හා කේෂාන් වන්නිආරච්චි ලකුණු 29 ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 44 කඩුලු 2ක් දවාලීමට සමත් විය. ඒ අනුව එම තරඟය වයඹ පළාත් කණ්ඩායම කඩුලු 6 කින් ජයග්‍රහණය කරන ලදි.

දකුණ හා බස්නාහිර බලය පතුරුවයි

නැගෙනහිර පළාත් කණ්ඩායම හා උතුරු මැද පළාත් කණ්ඩායම (වෙළෙඳ සේවා පිටියේදී)

පළමුව පන්දුවට පහරදුන් නැගෙනහිර කණ්ඩායම පන්දුවාර 41 යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 158 ක් ලබා ගත් අතර අංජන ලියනගේ ලකුණු 61 ක් හා දිනේශ් මදුසංක ලකුණු 27 ක් ගත් අතර පන්දු යැවීමේදී නිපුන් ලක්ෂාන්  ලකුණු 39 කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.

උතුරු මැද කණ්ඩායම පළමු ඉණිමට පන්දුවාර 61 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී ලකුණු 173 ක් ලබා ගත් අතර තිලිණ ධනංජය ලකුණු 36 ක් හා පන්දු යැවීමේදී ආර්. තෙනුරත්න ලකුණු 33කට කඩුලු 4ක් දවාලීමට සමත් විය.

අනතුරුව තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල නැගෙනහිර කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 274 ක් ලබා සිටියදී ඉණිම අත්හිටු වූ අතර දක්ෂ පිතිහරඹයක නිරත වූ ලසිත කෘස්පුල්ලේ ලකුණු 114 ක් හා ටොරින් පිටිගල ලකුණු 57 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී අසේල සිගේරා ලකුණු 100 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

උතුරු මැද පළාත් කණ්ඩායම දෙවන ඉණිමට පන්දුවාර 38 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 141 ක් ලබා ගත් අතර සජිත් ද සිල්වා ලකුණු 76 ක් ලබා ගන්නා ලදි.

ඒ අනුව එම තරඟය උතුරු මැද කණ්ඩායම පළමු ඉණිමේ ජයග්‍රහණය ක් සමඟ තරඟය අවසන් කරන ලදි.

ඡායාරූප ඇල්බය සඳහා පිවිසෙන්න

දකුණු පළාත් කණ්ඩායම හා මධ්‍යම පළාත් කණ්ඩායම  (නිදහස් වෙළෙඳ කලාප පිටියේදී)

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු පළාත් කණ්ඩායම නියමිත පන්දුවාර 65 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 297 ක් ලබා ගන්නා ලදි. කවිදු නිර්මාල් ලකුණු 84 ක්, චතුර මිලාන් ලකුණු 55 ක් හා අශේන් බණ්ඩාර ලකුණු 49 ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. පන්දු යැවීමේදී දිලුම් සුධීර ලකුණු 38කට කඩුලු 3 ක් දවා ගන්නා ලදි.

මධ්‍යම කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 59 එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 162 ක් ලබා ගත් අතර දේශාන් ගුණසිංහ නොදැවී ලකුණු 33 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී හරීන් බුද්ධිල ලකුණු 37කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.

19 පහළ පළාත් ක්‍රිකට් තරඟාවලියේ නිමා වු දින දෙකක තතුවිත්ති

ලකුණු ප්‍රමාණය අවම නිසා නැවතත් තම දෙවන ඉණිම දියත් කල මධ්‍යම පළාත් කණ්ඩායම පන්දුවාර 79 කදී කඩුලු 8ක් දැවී ලකුණු 340 ක් ලබා ගත් අතර දක්ෂ ලෙස පිත්ත හැසිරවූ මොහෙන්ජෝ අල්ෆර් ලකුණු 123 ක් හා දේශාන් ගුණසිංහ නොදැවී ලකුණු 65 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී නිපුන් රංසික ලකුණු 44 කට කඩුලු 2 ක්  දවාලීමට විය.

ඒ අනුව එම තරගය දකුණු පළාත් කණ්ඩායමට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.

මෙම තරගාවලියේ මූලික වටයේ අවසන් තරඟ ලබන 6 සහ 7  දෙදින පහත ස්ථානවලදි පැවැත්වීමට නියමිතය.

  • බස්නාහිර පළාත් උතුර හා වයඹ පළාත අතර තරගය පානාගෙඩ පිටියේදී
  • බස්නාහිර පළාත් මධ්‍යම හා උතුරු පළාත අතර තරඟය කෝල්ට්ස් පිටියේදී
  • බස්නාහිර පළාත් දකුණු හා දකුණු පළාත් අතර තරඟය නිදහස් වෙළෙඳ කලාප පිටියේදී  
  • උතුරු මැද පළාත හා මධ්‍යම පළාත අතර තරඟය ආර්.ප්‍රේමදාස පිටියේදී