ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය 19 වැනිදා ආරම්භ කල අතර මෙහි සියලු තරඟ දෙදින තරඟ ලෙස පැවැත්වීමට නියමිතය. මේ තරඟාවලිය සඳහා කණ්ඩායම් 10 කාණ්ඩ 2 ක් යටතේ තරඟ වැදීමට නියමිතය.

පළමු තරඟයනැගෙනහිර පළාත හා මධ්‍යම පළාත අතර සරේ ක්‍රීඩා පිටියේ,

කාසියේ වාසිය දිනාගත් මධ්‍යම පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි. ඔවුන් පළමු දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි අතර පන්දුවාර 34 ක් පමණක් ක්‍රියාත්මක වූ අතර විටින් විට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය. මධ්‍යම පළාතට පන්දුවාර 46 පන්දු 3 කදී, සියලු දෙනා දැවී ලකුණු 162 ක් පමණක් ලබා ගැනීමට හැකි විය. බවන්ත උඩනගම ලකුණු 37, මොහොමඩ් අල්ෆරි ලකුණු 35 ක් ද ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී නවීන් ගුණවර්ධන ලකුණු 35 කට කඩුලු 6 ක් දවා ගන්නා ලදි.

පිළිතුරු ලෙස නැගෙනහිර කණ්ඩායම පන්දුවාර 33 පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 125 ක් ලබා ගත් අතර ලසිත කෘස්පුල්ලේ 4 පහරවල් 9 ක් සමඟ නොදැවී ලකුණු 67 ක් ලබා ගත් අතර එම තරඟය ජය පරාජයකින් තොරව නිමා විය.

 ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න 


දෙවන තරඟය ඌව පළාත හා උතුරු පළාත් කණ්ඩායම් අතර මත්තෙගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේදී,

කාසියේ වාසිය දිනාගත් ඌව කණ්ඩායම උතුරු පළාත් කණ්ඩායමට පන්දුවට පහරදීමට ඇරයුම් කරන ලදි.

උතුරු පළාත් කණ්ඩායම පළමු ඉණිම සඳහා පළමු දිනය අවසන් වන විට පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටින ලදි. මෙම තරඟයටද වර්ෂාවෙන් බාධා එල්ල විය. උතුරු පළාත් කණ්ඩායම පන්දුවාර 63 යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 176 ක් ලබා ගත් අතර වී. ජතුශාන් ලකුණු 38 ක් , කේ.කපිල්රාජ් ලකුණු 23 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී අවිදු තීක්ෂණ ලකුණු 57 කට කඩුලු 7 ක් බිද දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

අනතුරුව පන්දුවට පහරදුන් ඌව පළාත් කණ්ඩායම පන්දුවාර 47 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටය දී දෙවන දිනයද නිමා වූයේ එම තරඟයද ජය පැරදුමකින් තොරව නිමා කරමිනි. එහිදී අවිදු තීක්ෂණ ලකුණු 35 ක් ලබා ගත් අතර, කේ. කපිල්රාජ් ලකුණු 23 කට කඩුලු 3 ක් බිද දමන ලදි.


තෙවන තරඟය  – උතුරු මැද පළාත් කණ්ඩායම හා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අතර තරඟය පානදුර ක්‍රීඩා සමාජ පිටියේදී,

කාසියේ වාසිය දිනාගත් උතුරු මැද පළාත් කණ්ඩායම පන්දුවට පළමුව පහරදුන් අතර පළමු දිනය සදහා තරඟය වර්ෂාව නිසා නවතා දමන විට පන්දුවාර 45 පන්දු 3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබා සිටින ලදි. කෙසේ වෙතත් උතුරු පළාත් කණ්ඩායමට පන්දුවාර 51 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි. එහිදී නිපුන් ලක්ෂාන් ලකුණු 38 ක්ද, පුබුදු බණ්ඩාර ලකුණු 35 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී තිලිණ නිමේෂ ලකුණු 56 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

අනතුරුව පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම පන්දුවාර 54 ක් අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 271 ක් ලබා සිටින ලදි. එහිදී මිෂේන් සිල්වා 4 පහරවල් 12 ක් හා 6 පහරවල් 2 ක් සමඟ ලකුණු 103 ක් ලබා ගත් අතර නුවන් ප්‍රභාත් ලකුණු 58 ක් ලබා ගනිමින් ඔහුට සහය වන ලදි. පන්දු යැවීමේදී උතුරු මැද පළාත් කණ්ඩායම වෙනුවෙන් සචින් දිසානායක ලකුණු 38 කට කඩුලු 3 ක් හා රවිනාත් ඉලංගසිංහ ලකුණු 13 කට කඩුලු 2 ක් දවාලීමට සමත් වූ අතර එම තරගය බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම පළමු ඉණිම ජයග්‍රහණය කරන ලදි.

 ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න 


සිව්වන තරඟයබස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා බස්නාහිර පළාත් උතුර කණ්ඩායම අතර වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේදී ,

කාසියේ වාසිය දිනාගත් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරන ලදි.

පළමුවෙන් පිටියට පැමිණි බස්නාහිර මධ්‍යම කණ්ඩායම පළමු දිනය සදහා වර්ෂාව හරස් වීමෙන් තරඟය නවතා දමන විට පන්දුවාර 53 යි පන්දු 4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කල පැතුම් නිස්සංක ලකුණු 97 ක් ලබා සිටින ලදි. කෙසේ වෙතත් බස්නාහිර මධ්‍යම කණ්ඩායම පන්දුවාර 85 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 291 ක් රැස් කරගැනීමට සමත් වූ අතර පැතුම් නිස්සංක හා පසිදු සූරියබණ්ඩාර 4 වන කඩුල්ල සඳහා ලකුණු 141 සබඳතාවක් එක් කරන ලදි. පැතුම් නිස්සංක 4 පහරවල් 21 ක් සමඟ ලකුණු 128 ක් , පසිදු සූරියබණ්ඩාර ලකුණු 71 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී ජේ. ඩැනියල් ලකුණු 84 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

අනතුරුව තම පළමු ඉණිම සඳහා බස්නාහිර උතුරු කණ්ඩායම පන්දුවාර 24 යි පන්දු 2ක් අවසානයේ ලකුණු 94 කට කඩුලු 3 ක් දැවී සිටියදී දිනය නිමා වූ අතර සම්මු අශාන් 4 පහරවල් 8 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 55 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී නිපුන් වන්නිආරච්චි ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත් අතර එම තරඟය විසදුමකින් තොරව අවසන් විය.

මේ මස 24 -25 දෙදින තුළ ඌව හා බස්නාහිර පළාත් උතුරු අතර වෙස්ලි ක්රීඩා පිටියේදී , වයඹ හා බස්නාහිර පළාත් මධ්‍යම අතර තරඟය කෝල්ට්ස් පිටියේදී, බස්නාහිර දකුණ හා නැගෙනහිර පළාත් අතර තරඟය පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී හා උතුරු මැද හා දකුණු පළාත් අතර තරඟය සරේ ක්‍රීඩා පිටියේදී  ද පැවැත්වීමට නියමිතය.