ගුවන්, පොලිස්, නැවියන් සහ පානදුර සමසේ සතුටු වෙති

134

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ පසුගිය (27) වැනිදා ආරම්භ වූ තරග 4ක් ඊයේ (29) නිමාවට පත් විය.

එයින් ගාල්ල සහ කළුතර ක්‍රීඩා සමාජ අතර පැවති තරගයෙන් ගාල්ල ක්‍රීඩා සමාජයටත්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල ක්‍රීඩා සමාජය අතර තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයටත් ජය හිමි විය.

මීට අමතරව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගයත්, පොලිස් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

සාන්ත ජෝසප් හා සාන්ත තෝමස් විද්‍යාලය අවසන් 4ට

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරවන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ….

ගාල්ල ක්‍රීඩා සමාජය සහ කළුතර ක්‍රීඩා සමාජය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගය පැවති තරග හතරින්ම සුවිශේෂි මුහුණු වරක් ගත් තරගය බවට පත් වූයේ එක් ඉනිමක සහ ලකුණු 115ක දැවැන්ත ජයක් ගාල්ල ක්‍රීඩා සමාජයට හිමි වීම හේතුවෙනි.

කාසියේ වාසිය දිනා කළුතර ක්‍රීඩා සමාජය මුලින්ම පන්දුවට පහර දුන්න ද, ඔවුන්ගේ ඉනිම දරුණු අගාධයකට ඇඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුරාජ් රන්දීව් ලකුණු 21කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

මීට අමතරව ගාල්ල කණ්ඩායමේ ගයාන් සිරිසෝම කළුතර ඉනිමේ අනෙක් කඩුලු 3 ලකුණු 25කට දවා ගැනීම හේතුවෙන් කළුතර පළමු ඉනිම පන්දු වාර 55ක් තුල ලකුණු 149කට සීමා විය. කළුතර ඉනිමේ නිලූශාන් නොනිස් (34) සහ රවිඳු කොඩිතුවක්කු (32) වැඩිම ලාභීන් බවට පත් විය.

ඒ අනුව ගාල්ල ක්‍රීඩකයින් සිය පළමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් පන්දුවාර 103ක් තුල කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 406ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීය. ගාල්ල ඉනිම වෙනුවෙන් ඩී. එන්. හුණුකුඹුර විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් ලකුණු 127ක් ලබා ගත්තේය. මීට අමතරව ගාල්ල කණ්ඩායමෙන් තවත් අර්ධ ශතක ඉනිම් 4ක් සුරාජ් රන්දීව්, එස්. ටී. පී. කඳනාරච්චි, කෙවින් කොත්තීගොඩ සහ හර්ෂ විතානගේ යන පිතිකරුවන්ගේ පිති වලින් වාර්තා විය. කළුතර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් එරංග රත්නායක ලකුණු 63කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 257ක් පිටුපසින් සිට කළුතර පිතිකරුවන් සිය දෙවන ඉනිම ආරම්භ කළ ද මව් ක්‍රීඩාංගණයේ වාසියත් තමන් සතු කර ගත් ගාල්ල පන්දු යවන්නන් පන්දුවාර 46යි පන්දු 5ක් තුල ලකුණු 142කට කළුතර දෙවන ඉනිම ද සීමා කරමින් ඉනිමක සහ ලකුණු 115ක දැවැන්ත ජයක් ලැබීය.

පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේ ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගයාන් සිරිසෝම ලකුණු 46කට ප්‍රතිවාදී කඩුලු 5ක් බිඳ දැමීය.

කළුතර දෙවන ඉනිමේ වැඩිම ලකුණු රැස් කරමින් නිපුන ගමගේ ලකුණු 43ක් රැස් කළ අතර, අකීල් ඉන්හාම් ලකුණු 33කට දැවී ගියේය.

මීට අමතරව ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දෙවන ඉනිමේ ද සුරාජ් රන්දීව් කඩුලු 2ක් දවා ගත් අතර, අකලංක ගනේගම ලකුණු 18කට කඩුලු 2ක් බිඳ දැමීය.

කළුතර පළමු ඉනිම: සියල්ලන් දැවී 149 (55) නිලූශාන් නෝනිස් 34, රවිඳු කොඩිතුවක්කු 32, සුරාජ් රන්දීව් 7/21, ගයාන් සිරිසෝම 3/25

ගාල්ල පළමු ඉනිම: කඩුලු 6ක් දැවී 406d (103) ඩී. එන්. හුණුකුඹුර 127, සුරාජ් රන්දීව් 67, එස්.ටී. පී. කඳනාරච්චි 62, කෙවින් කොත්තීගොඩ 60, හර්ෂ විතාන 55, එරංග රත්නායක 3/63, පසිඳු මදුශාන් 2/117

කළුතර දෙවන ඉනිම: සියල්ලන් දැවී 142 (46.5) නිපුන ගමගේ 43, අකීල් ඉන්හාම් 33, ගයාන් සිරිසෝම 5/46, අකලංක ගනේගම 2/18, සුරාජ් රන්දීව් 2/31

පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති අතර කාසියේ වාසිය දිනා ගත් නැවියන් මුලින්ම පන්දුවට පහ රදීමට පොලිස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පොලිස් ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 306ක් රැස් කළේ පන්දුවාර 83යි පන්දු 4කට මූණ දෙමිනි. පොලිස් කණ්ඩායමේ ලකුණු පුවරුවට ලකුණු 70කින් දායක වීමට නිෂාන් මදුශංක සමත් වූ අතර, තවත් අර්ධ ශතක ඉනිම් තුනක් අමිත් කුමාර්, අජන්ත මෙන්ඩිස් සහ ගිටාන්ස් කෙහෙරගේ පිතිවලින් වාර්තා විය. නැවියන් වෙනුවෙන් සවිඳු පීරිස් ලකුණු 120ක් ලබා දී කඩුලු 4ක් සහ තරුෂාන් ඉද්දමල්ගොඩ කඩුලු 2ක් ලකුණු 26කට දවා ගත්තේය.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා පිතිකරුවන් පන්දුවාර 84 පන්දු 4කට මුහුණ දී සියල්ලන් දැවී ලකුණු 284ක් රැස් කළේය. සාලිත ප්‍රනාන්දු විශිෂ්ට ලකුණු 82ක් සහ ඩිලාන් චන්දිම ලකුණු 59ක් ලබා ගනිමින් නාවිකයින්ගේ ඉනිම ශක්තිමත් කළේය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිනූක හෙට්ටිආරච්චි කඩුලු 6ක් ලකුණු 105ක් ලබා දෙමින් දවා ගත් අතර, මංජුල ජයවර්ධන ලකුණු 58කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

Photos: Navy SC vs Police SC | SLC Major League 2018/19 – Tier “B”

පසුව පළමු ඉනිමේ ලකුණු 22ක වාසියක් ද සමඟින් පොලිස් කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර පොලිස් දෙවන ඉනිම පන්දුවාර 72යි පන්දු 4ක් තුල ලකුණු 290කට සීමා විය.

පළමු ඉනිමේ මෙන්ම මෙම ඉනිමේ ද ගිටාන්ස් කෙහෙර, අජන්ත මෙන්ඩිස් සහ අමිත් කුමාර් අර්ධ ශතක රැස් කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. නැවියන් වෙනුවෙන් දිලංක ආයුවාර්දිත් ලකුණු 55කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව නාවික හමුදා ක්‍රීඩා සමාජයට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 312ක ඉලක්කයක් හිමි වූ නමුත්, නියමිත දින තුන නිමාවට පත් වන විට ඔවුන්ට රැස් කිරීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 136ක් පමණි.

තරගය ජය පරාජයෙන් තොරව නිමා වන තෙක් ඉනිම පුරා නොදැවී කඩුල්ලේ රැඳුණු තරුෂාන් ඉද්දමල්ගොඩ ලකුණු 52ක් රැස් කරගෙන සිටියේය. මීට අමතරව පළමු ඉනිමේ ද අර්ධ ශතකයක් රැස් කළ ශාලිත ප්‍රනාන්දු මෙම ඉනිමේ ද ලකුණු 52ක් රැස් කළේය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මංජුල ජයවර්ධන පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේ ද කඩුලු 3ක් ලකුණු 29ක් ලබා දෙමින් දවා ගත් අතර දිනූක හෙට්ටිආරච්චි ලකුණු 76කට කඩුලු 2ක් බිඳ දැමීය.

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම: සියල්ලන් දැවී 306 (83.4) නිෂාන් මදුශංක 70, අමිත් කුමාර් 57, අජන්ත මෙන්ඩිස් 57, ගිටාන්ස් කෙහෙර 55, සවිඳු පීරිස් 4/120, තරුෂාන් ඉද්දමල්ගොඩ 2/26

නාවික හමුදා පළමු ඉනිම: සියල්ලන් දැවී 284 (84.4) ශාලිත ප්‍රනාන්දු 82, ඩිලාන් චන්දිම 59, දුෂාන් හේමන්ත 46, දිනුක හෙට්ටිආරච්චි 6/105, මංජුල ජයවර්ධන 3/58

පොලිස් ක්‍රීඩා සමාජ දෙවන ඉනිම: සියල්ලන් දැවී 290 (72.4) ගිටාන්ස් කෙහෙර 64, අජන්ත මෙන්ඩිස් 63, අමිත් කුමාර් 54, දිලංක ආයුවාර්දිත් 3/55, එච්. ජී. කේ. දිල්ශාන් 2/42, සවිඳු පීරිස් 2/71

නාවික හමුදා දෙවන ඉනිම: කඩුලු 5ක් දැවී 136 (29) තරුෂාන් ඉද්දමල්ගොඩ 52*, ශාලිත ප්‍රනාන්දු 52, මංජුල ජයවර්ධන 3/29, දිනූක හෙට්ටිආරච්චි 2/76

21 වසරකට පෙර එංගලන්තය දණින් වැට්ට වූ ශ්‍රී ලාංකිකයෝ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි….

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය:

තියුණු මුහුණු වරක් ගත් මෙම තරගයත් ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමින් සෑහීමකට පත් වීමට දෙපිලට සිදු විය. පසුගිය 27 වැනිදා ‘කටුනායක ගුවන් හමුදා’ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පන්දු වාර 71යි පන්දු හතරකට මුහුණ දෙමින් ගුවන් හමුදා පිතිකරුවන් සියල්ල දැවී පළමු ඉනිමට ලකුණු 223ක් රැස් කරන ලදි. එහි දී දුලාෂ් උදයංග දක්ෂ ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 76ක් රැස් කළේය. මීට අමතරව ගුවන් ඉනිමට සුමින්ද ලක්ෂාන් ලකුණු 33ක් සහ රොස්කෝ තටිල් ලකුණු 27ක් එක් කළහ.

පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ඒ. එම්. වීරසිංහ ලකුණු 74කට කඩුලු 6ක් දවා ගත් අතර අමිත කෞෂල්‍යය කඩුලු 3ක් ලකුණු 85කට බිඳ දැමීය.

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ පානදුර පිතිකරුවන් සියල්ල පන්දුවාර 74ක් තුල ලකුණු 258කට සීමා කරන්නට ගුවන් හමුදා පන්දු යවන්නන් සමත් විය. පානදුර ඉනිම ගොඩනැගීම වෙනුවෙන් වැදගත් අර්ධ ශතක දෙකක් වාර්තා කළ අභිෂේක් ගුප්තා ලකුණු 79ක් සහ මිෂේන් සිල්වා ලකුණු 68ක් රැස් කළේය.

Photos: Air Force SC vs Panadura SC | SLC Major League 2018/19 – Tier “B”

ගුවන් හමුදා කණ්ඩායමේ නිමේෂ මෙන්ඩිස් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 41කට කඩුලු 4ක් සහ උමේග චතුරංග ලකුණු 81කට කඩුලු 3ක් ද බැගින් දවා ගත්හ.

අනතුරුව පළමු ඉනිමේ ලකුණු 35ක අඩුවක් ද සමඟින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, පළමු ඉනිමේ අඩුපාඩු සියල්ල අකාමකා දමමින් පන්දු වාර 65කට මූණ දුන් ගුවන් හමුදා ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 302ක් ලබා සිටිය දී තරගයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඉනිම අත්හිටු විය.

ගුවන් හමුදා ලකුණු පුවරුවට ජීවයක් එක් කරමින් පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේ ද සාර්ථක වූ දුලාෂ් උදයංග නොදැවී විශිෂ්ට ශතකයක් (119) වාර්තා කළ අතර, ඊට අනඟි සහයක් ලබා දෙමින් කෞෂල්‍යය ගජසිංහ ලකුණු 72ක් ලබා ගත්තේය. පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු ඉනිමේ ද පන්දුවෙන් දස්කම් දැක්වූ අමිත කෞෂල්‍යය ප්‍රතිවාදීන්ට ලකුණු 91ක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගත්තේය.

ඒ අවසරයෙන් පානදුර ක්‍රීඩා සමාජයට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 267ක ඉලක්කයක් හිමි වූව ද, ගුවන් හමුදා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එය හඹා යාමට නොහැකි ඉලක්කයක් බවට පත් විය.

ඒ අනුව තරගයේ නියමිත කාලය නිමාවට පත් වන විට පන්දුවාර 56කට මූණ දී සිටි පානදුර පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 146ක් රැස්කර ගෙන සිටියහ. කඩුලු 6ක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් පානදුර ඉනිම අසීරු අඩියකට වැටී තිබිය දී තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ප්‍රමුඛ දායකත්වය ලබා දුන් අසන්ත බස්නායක නොදැවී ලකුණු 47ක් සහ විනෝද් පෙරේරා නොදැවී ලකුණු 30ක් රැස් කළේය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ පන්දු  යැවීමක නිරත වූ උමේග චතුරංග, සම්පත් පෙරේරා සහ නිමේෂ මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ගුවන් හමුදා පළමු ඉනිම: සියල්ලන් දැවී 223 (71.4) දුලාෂ් උදයංග 76*, සුමින්ද ලක්ෂාන් 33, රොස්කෝ තටිල් 27, ඒ. එම්. වීරසිංහ 6/74, අමිත කෞෂල්‍යය 3/85

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉනිම: සියල්ලන් දැවී 258 (74) අභිෂේක් ගුප්තා 79, මිෂේන් සිල්වා 68, තිමිර ජයසිංහ 30, නිමේෂ මෙන්ඩිස් 4/41, උමේග චතුරංග 3/81, සුමින්ද ලක්ශාන් 2/55

ගුවන් හමුදා දෙවන ඉනිම: කඩුලු 6ක් දැවී 302d, (65) දුලාෂ් උදයංග 119*, කෞෂල්‍යය ගජසිංහ 72, සම්පත් පෙරේරා 29, අමිත කෞෂල්‍යය 4/91

පානදුර ක්‍රීඩා සමාජ දෙවන ඉනිම: කඩුලු 6ක් දැවී 146 (56) අසන්ත බස්නායක 47*, විනෝද් පෙරේරා 30*, ෂෙහාන් වීරසිංහ 28, උමේග චතුරංග 2/16, සම්පත් පෙරේරා 2/18, නිමේෂ් මෙන්ඩිස් 2/26

මන්කාඩ්ගෙන් පස්සේ මාලිංගගේ නිපන්දුව IPL රත්කරයි

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (IPL) තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස්….

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය:

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සත්කාරකත්වය සහිතව එම ක්‍රීඩා සමාජ පිටියේ දී පසුගිය (27) වැනිදා මෙම තරගය ආරම්භ විය.

කාසියේ වාසිය දිනා ගෙන බ්ලූම්ෆීල්ඩ් නායකයා මුලින්ම පන්දු රැකීම තෝරා ගත් අතර ඒ අනුව කුරුණෑගල කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 65යි පන්දු 3කට මූණ දී ලකුණු 245කට සියල්ලන් දැවී ගියේය. දක්ෂ ඉනිම් දෙකක් ක්‍රියාත්මක කළ සමීර සඳමාල් සහ කෙෂාන් වන්නිආරච්චි පිළිවෙළින් ලකුණු 77ක් සහ 72ක් බැගින් සිය කණ්ඩායම වෙනුවෙන් එකතු කළහ.

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් දිලීප ජයලත් ලකුණු 12කට කඩුලු 2ක් සහ අරවින්ද ප්‍රේමරත්න කඩුලු 2ක් ලකුණු 14කට දවා ගන්නා ලදි.

අනතුරුව බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ආරම්භ වූ අතර, ඔවුන් සියල්ලන් පන්දුවාර 81 පන්දු 2කට මූණ දී ලකුණු 276ක් රැස් කළේය.

Photos: Bloomfield C & AC vs Kurunegala Youth CC | SLC Major League 2018/19 – Tier “B”

ඒ වෙනුවෙන් ගීෂාට් පණ්ඩිතරත්න විශිෂ්ට ඉනිමක් දියත් කළ ද ශතකයට එක් ලකුණක් අවශ්‍යව තිබිය දී ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියේය. අසන්ත සින්ගප්පුල්ලිගේ සහ එස්. එම්. ඩී. ජයවර්ධන පිළිවෙළින් ලකුණු 61ක් සහ 40ක් ලබා ගත්හ. කුරුණෑගල ක්‍රිකට් සමාජය වෙනුවෙන් රසාංජන ජයරත්න ලකුණු 80කට කඩුලු 4ක් සහ ලහිරු ජයරත්න ලකුණු 20ක් ලබා දී කඩුලු 3ක් ද දවා ගත්තේය.

ඒ අනුව ලකුණු 31ක් පිටුපසින් සිට කුරුණෑගල ක්‍රීඩා සමාජය සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර ඔවුන් සියල්ලන් පන්දු වාර 51යි පන්දු 4කින් ලකුණු 200කට සීමා විය.

එහි දී දනුෂ්ක ධර්මශ්‍රී පමණක් යම් තාක් දුරට දිගු ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 77ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට අවකාශ සැලසුණේ නැත.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිමේ පිත්තෙන් ද දස්කම් දැක්වූ අසන්ත සින්ගප්පුල්ලිගේ පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තේය. මීට අමතරව දිලීප් ජයලත් සහ සනෝජ් දර්ශික කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ඒ අනුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 169ක පහසු ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් එම ඉලක්කය පන්දුවාර 37යි පන්දුවක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින් පසුකර යාමට සමත් විය.

එහි දී නොදැවුණු දක්ෂ ඉනිම් දෙකක් ගොඩනැගූණු අතර ගීෂාට් පණ්ඩිතරත්න තරගයේ පිට පිට රැස් කර ගත් දෙවන අර්ධ ශතකය ලකුණු 59ක් ලෙස සටහන් කර ගනිද්දී, සනෝජ් දර්ශික ලකුණු 49ක් රැස් කරන ලදි.

කුරුණෑගල පළමු ඉනිම: සියල්ලන් දැවී 245 (65.3) සමීර සඳමාල් 77, කෙෂාන් වන්නිආරච්චි 72, දිලීප ජයලත් 2/12, අරවින්ද ප්‍රේමරත්න 2/14

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම: සියල්ලන් දැවී 276 (81.2) ගීෂාට් පණ්ඩිතරත්න 99, අසන්ත සින්ගප්පුල්ලිගේ 61, එස්. එම්. ඩී. ජයවර්ධන 40, රසාංජන ජයරත්න 4/80, ලහිරු ජයරත්න 3/20

කුරුණෑගල දෙවන ඉනිම: සියල්ලන් දැවී 200 (51.4) ධනුෂ්ක ධර්මශ්‍රී 77, දිනුෂ්ක මාලන් 31, අසන්ත සින්ගප්පුල්ලිගේ 3/30, දිලීප ජයලත් 2/32, සනෝජ් දර්ශික 2/22

බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම: කඩුලු 3ක් දැවී 173 (37.1) ගිෂාට් පණ්ඩිතරත්න 59*, සනෝජ් දර්ශික 49*, සචින් ජයවර්ධන 24, අසන්ත සින්ගප්පුල්ලිගේ 20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<