දිල්රුවන්, තිරිමාන්න සහ ජයසුන්දර වාර්තා පොත් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

729

කොරෝනා වසංගත තත්වය නිසා මාස 5ක පමණ නිහැඬියාවකින් පසුව නැවතත් ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ පළමු පෙළ Tier ‘A’  ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ අවසන් තරග සතිය අද (25) දිනයේ දී ආරම්භ විය. 

>> නායකයාගේ සමුගැනීමට ධනංජයගෙන් සුපිරි ශතකයක්

එහි ආරම්භක දිනය තුළම කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ කඩුලු 800 සීමාව පසුකර යමින් එවැනි දස්කමක් දැක්වූ පස්වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට යාමට සමත් විය. ඊට අමතරව රාගම ක්‍රිකට් සමාජයේ මුල් පෙළ පිතිකරුවන් දෙදෙනෙකු වන ලහිරු තිරිමාන්න (ලකුණු 140) සහ උදාර ජයසුන්දර (ලකුණු 154*) දෙවන කඩුල්ල සඳහා ලකුණු 308ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් ‘ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසය තුළ දෙවැනි කඩුල්ල සඳහා මෙතෙක් වාර්තා වූ හයවැනි හොඳම සබඳතාවය’ ගොඩනංවන ලදි. 

එන්. සී. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී පැවති තරගයේ දී එන්. සී. සී. පළමු කඩුල්ල සඳහා ලහිරු උදාර සහ නිරෝෂන් දික්වැල්ල සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනාටම අර්ධ ශතක වාර්තා කරගැනීමට හැකි විය. එහිදී මෙවර තරගවාරය තුළ රැස්කර ගත් හයවැනි අර්ධ ශතකය සපුරාගත් ලහිරු උදාර, මෙවර තරගාවලිය තුළ ලකුණු 1000 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්වෙමින් සිය දස්කම් දක්වන ලද්දේ අවසන් ඉනිම් හය තුළ පිළිවෙළින් ලකුණු 66, 111, 90, 93, 105, 70ක් වාර්තා කරගනිමිනි. 

එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ ඇන්ජලෝ පෙරේරා ලකුණු 107ක් රැස්කර ගන්නා ලදි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම මෑතක දී නියෝජනය කළ, කඩුලු රකින පිතිකරු කමිල් මිශාර මෙම තරගයේ දී නොදැවී ලකුණු 72*ක් රැස්කර ගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 458කට සීමා විය. 

Video – කුසල් මෙන්ඩිස් ලබාගත් පළමු පෙළ මංගල ද්විත්ව ශතකය

හලාවත මේරියන්ස් සහ සී. සී. සී. අතර අද දින ආරම්භ වූ තරගයේ දී ලසිත් යන නාමය සඳහා වැඩි වටිනාමක් හිමි විය. තරගයේ පළමු දිනය තුළ සී. සී. සී. කණ්ඩායමේ ලසිත් අබේරත්න සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලසිත් කෘස්පුල්ලේ යන දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ප්‍රබල පිතිකරණ බලඇණියක් සතු සී. සී. සී. පළමු ඉනිම ලකුණු 287කට සීමා කිරීමට මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූ වමතින් දඟපන්දු යවන නිමේෂ් විමුක්ති ලකුණු 59කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

මෙවර තරගවාරය තුළ වාර්තා කරගත් සිය තෙවන ශතකය සඳහා හිමිකම් කීමට යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන දිනේෂ් චන්දිමාල් අද දින සමත් වූ අතර තරගයේ පළමු දිනය අවසන් වන විට ඔහු නොදැවී ලකුණු 136*ක් රැස්කර ගෙන සිටියේ හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනි. 

  • එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 

එන්. සී. සී. පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 458 (88.2): ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිශාර 72*, ලහිරු උදාර 66, නිරෝෂන් දික්වැල්ල 57, දිල්රුවන් පෙරේරා 4/117. 

  • හලාවත මේරියන්ස් සහ සී. සී. සී. 

සී. සී. සී. පළමු ඉනිම – 287 (59.5): ලසිත් අබේරත්න 68, ලහිරු මධුසංක 45, නිමේෂ් විමුක්ති 5/59. 

හලාවත මේරියන්ස් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 83/2 (21): ලසිත් කෘස්පුල්ලේ 50. 

  • යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය 

යුද හමුදා පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 344/5 (90): දිනේෂ් චන්දිමාල් 136*, පැතුම් ඩිල්ශාන් 67, අශේන් රන්දික 63.  

>> සී. සී. සී. ශූරතා සතුටට මෙන්ඩිස්ගෙන් 200ක්

  • බී. ආර්. සී. සහ රාගම ක්‍රිකට් සමාජය 

රාගම පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 309/2 (90): උදාර ජයසුන්දර 154*, ලහිරු තිරිමාන්න 140. 

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<