පළමු පෙළ තුළ පරිනත වූ පරණවිතාන ක්‍රිකට් බිමට සමුදෙයි

324

වසර 20ක තම පළමු පෙළ ක්‍රිකට් දිවිය සඳහා තිත තබමින් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කළ තරංග පරණවිතාන සියලුම ආකාරයේ ක‍්‍රිකට් තරගවලට සමුදෙන බව පසුගිය 24 වනදා නිවේදනය කර තිබේ. ඔහු අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ක‍්‍රීඩා කර ඇත්තේ 2012 වසරේ දීය. 

නායකයාගේ සමුගැනීමට ධනංජයගෙන් සුපිරි ශතකයක්

2001 වසරේ දී එස්. එස්. සී. කණ්ඩායම සමඟ සිය පළමු පෙළ ක්‍රිකට් ගමන ආරම්භ කරන පරණවිතාන, පසුගිය 24 වනදා ටැමිල් යුනියන් සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති පලිහ වටයේ තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මෙම සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. ඔහු ඒ වන විට ටැමිල් යුනියන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ලදි. 

මේ වන විට 38 වැනි වියේ පසුවන තරංග පරණවිතාන පළමු වරට ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වූයේ 2009 වසරේ දී පාකිස්තානයට එරෙහිවය. සිය මංගල ටෙස්ට් තරගයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම පරණවිතාන, උමාර් ගුල්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය. සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ ශතක දෙකක් සහ අර්ධ ශතක 11ක් වාර්තා කරගෙන ඇති තරංග පරණවිතානගේ ඉනිමක සාමාන්‍ය 32.28 කි. 

දිල්රුවන්, තිරිමාන්න සහ ජයසුන්දර වාර්තා පොත් අතරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 32ක් තුළදී ලකුණු 1792ක් සහ ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග 222ක් ක්‍රීඩා කරමින් ඉනිමක සාමාන්‍ය 45.82ක රඳවා ගෙන මුළු ලකුණු 14,940ක්  (ශතක 40 ක් සහ අර්ධ ශතක 69ක්) වාර්තා කරගත් තරංග පරණවිතාන, පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රිකට් තරග රටාවන් සඳහා සමුදුන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති පළමු පෙළ ක්‍රිකට් තරග තුළදී වැඩිම ලකුණු රැස්කර (ලකුණු 12,522) ගත් පිතිකරුවා බවට පත්වෙමිනි. 

දේශීය ක්‍රිකට් පිටියේ ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් රැසක් ලබාගත් තරංග පරණවිතානගේ ඉදිරි දිවි ගමන සාර්ථක වේවා කියා ThePapare.com අපි ප්‍රර්ථනා කරන්නෙමු. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<