අර්ධ ශතක හයක් මැද භානුකගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

451

කොරෝනා වසංගතය නිසාවෙන් නිහඬව තිබූ දේශීය ක්‍රිකට් පිටියට වසන්තය උදා කරමින් පසුගිය 10 වැනිදා ආරම්භ වූ පළමු පෙළ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තවත් තරග හතරක් අද (15) කොළඹ දී ආරම්භ විය.

පළමු දිනය තුල ශතකයක් (භානුක රාජපක්ෂ), අර්ධ ශතක හයක් (ශෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, මිලින්ද සිරිවර්ධන, සමින්ද ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, දුවිඳු තිලකරත්න) සහ කඩුලු 5 අවස්ථාවන් එකක් (කසුන් රාජිත) වාර්තා විය.

සී. සී. සී සහ සැරසන්ස්

සුපිරි 8 ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගනිමින් අපරාජිතව තරගාවලිය තුල රැඳී සිටි සී. සී. සී කණ්ඩායම SSC පිටියේ දී පැවති තරගයේ දී යම් පසුබැස්මකට ලක්ව සිටින බවක් පෙනෙන්නට ඇත. 

පළමුව පන්දුවට පහර දුන් සී. සී. සී වෙනුවෙන් මිනෝද් භානුක ලකුණු 92ක් ලබා ගනිමින් දස්කම් දැක්විය. ඒ සඳහා 4 පහර 11ක් සහ 6 පහර දෙකක් ඇතුලත්ය. මිනෝද්ට හැරෙන්නට අනෙක් කිසිම සී. සී. සී ක්‍රීඩකයෙක්ට ලකුණු 22 සීමාව අභිබවා යාමට අවස්ථාව ලැබුණේ නැත. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 63කට කඩුලු 5ක දවා ගත්තේය. සාලිය සමන් ලකුණු 33කට කඩුලු 3යි.

සැරසන්ස් නායක මිලින්ද සිරිවර්ධනගේ ලකුණු 89 සවිමත් වූ සැරසන්ස් පළමු දිනය අවසන් වන විට සී. සී. සී අභිබවා පළමු ඉනිමේ ජය ලබාගෙන සිටියි. වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ පළමු දිනය තුල දැවී ගිය සැරසන්ස් කඩුලු 7න් 4ක් තමන් සතු කර ගන්නා ලදි.

  • සී. සී. සී පළමු ඉනිම – 142 (40.4): මිනෝද් භානුක 92, කසුන් රාජිත 5/63, සාලිය සමන් 3/33.
  • සැරසන්ස් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 148/7 (38): මිලින්ද සිරිවර්ධන 89, ලහිරු ගමගේ 4/24.

Photos: CCC vs Saracens SC | Premier Super 8s Tournament 2019/20

එන්. සී. සී සහ බී. ආර්. සී

දිනයේ වැඩිම අවධානයක් සහ වැඩිම කතාබහට ලක්වූ මේ තරගයේ දී භානුක රාජපක්ෂ ශතකයක් ලබා ගත්තේය. මින් පෙර තරගයේ දී ඔවුන්ගේ පිතිකරණ බල ඇණියේ දුර්වලතා නිසාවෙන් පූර්ණ තරග පරාජයක් අභියසට ගියත් ඔවුන්ට ඉන් ගැලවීමට හැකි විය. ඒ ඩිල්ශාන් ද සොයිසා දියත් කළ පිතිකරණය නිසාවෙනි.

කෙසේ නමුත් මේ තරගයේ දී නායකත්වයේ පිතිකරණයක නිරත වූ රාජපක්ෂ පන්දු 82ක් තුල ලකුණු 115ක් වාර්තා කළේ 4 පහර 12ක් සහ 6 පහර 6ක් එල්ල කරමිනි. දුවිඳු තිලකරත්න නොදැවී ලකුණු 53*ක් ලබා ගන්නා විට මංගල පළමු පෙළ ක්‍රිකට් තරගය සඳහා සහභාගී වූ අශේන් ඩැනියල් රාජපක්ෂ ඇතුළු බී. ආර්. සී කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

  • බී. ආර්. සී පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 316 (83.3): භානුක රාජපක්ෂ 115, දුවිඳු තිලකරත්න 53*, අශේන් ඩැනියල් 4/93.

තවත් ක්‍රිකට් පුවත්:

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය

සී. සී. සී පිටියේ දී පැවති තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 76ක් ලබාගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටියේ ඇන්ජලෝ මැතිව්ස් සහ සන්තුෂ් ගුණතිලක ය. 

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහර දුන් රාගම පළමු ඉනිම ලකුණු 258කට සීමා කිරීමට අකිල දනංජය ඇතුළු කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත් වූහ. සමින්ද ප්‍රනාන්දු ඉනිමේ නැංගුරම වෙමින් ලකුණු 73ක් ලබා ගන්නා විට, නිශාන් මදුෂ්ක ලකුණු 57ක් ලබා ගනිමින් දස්කම් දැක්විය. ඔවුන් දෙදෙනාම මොරටු මහා විද්‍යාලයෙන් බිහි වූ කඩුලු රකින පිතිකරුවන් වීම සුවිශේෂී වේ.

  • රාගම පළමු ඉනිම – 258 (63): සමින්ද ප්‍රනාන්දු 73, නිශාන් මධුෂ්ක 57, අකිල දනංජය 4/24.
  • කෝල්ට්ස් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 76/2 (25)

Photos: Colts CC vs Ragama CC | Premier Super 8s Tournament

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

නායකත්වයේ ඉනිමක් දියත් කළ හලාවත මේරියන්ස් නායක ශෙහාන් ජයසූරියට සිය පළමු පෙළ ශතකයක් මඟ හැරී ගිය මේ තරගය පී. සර ඕවල් පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය දිනා ගත් මේරියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර එහි දී ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 74ක් තුල බිඳ වැටුණි. අනතුරුව පිටියේ එක්වූ ශෙහාන් සහ පුලින තරංග පිළිවෙළින් ලකුණු 95ක් සහ ලකුණු 41ක් ලබා ගනිමින් ඔවුන්ගේ මැදපෙළ සවිමත් නොකරන්නට මේරියන්ස් පළමු ඉනිමට මෙතරම් හෝ දුර එන්නට නොහැකි වන්නට තිබුණි. පන්දු 147ක් තුල ශෙහාන් ලබා ගත් ලකුණු 95 ඉනිම සඳහා 4 පහර 9ක් ඇතුලත්ය.

  • හලාවත මේරියන්ස් පළමු ඉනිම – 269 (82.3): ශෙහාන් ජයසූරිය 95, පුලින තරංග 41, ඕෂද ප්‍රනාන්දු 38, අසේල ගුණරත්න 3/37, දුශාන් විමුක්ති 3/90.
  • යුද හමුදා පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 5/2 (5)

Photos – Chilaw Marians CC v Army SC – Premier Super 8s Tournament

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<