සමාරම්භක තරගයෙන්ම කෝල්ට්ස් පිළට දැවැන්ත ජයක්

418
slc-premiere-league-colts-v-moors-day-2-report

මෙවර ප්‍රිමියර් ලීග් තරග වාරය ආරම්භ කරමින් A කාණ්ඩය යටතේ පැවති පළමු තරගයේදීම ඉනිමක සහ ලකුණු 77ක සුපිරි ජයක් වාර්තා කරන්නට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අද (30) සමත් විය. එහිදී ගියවර ලීග් කාණ්ඩයේ අනුශූරයින් බවට පත්වූ මුවර්ස් ක්‍රීඩා සමාජය අද දිනය තුලදී දෙවරක්ම දැවී යාම විශේෂිත සිදුවීමකි.

පසුගිය ලිපි: ප්‍රථම දිනය නිමාවන විට කෝල්ට්ස් ක්‍රීඩකයින් පෙරමුණේ

ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනාගත් මුවර්ස් නායක කෝසල කුලසේකර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කෝල්ට්ස් පිළට ලබාදුන් අතර එයට ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ කෝල්ට්ස් පිතිකරුවන් සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 367ක් රැස් කිරීමට සමත් විය. කෝල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කෝල්ට්ස් නායක දිල්රුවන් පෙරේරා තමන්ට පන්දුව මෙන්ම පිත්තද හොඳින් හැසිරවිය හැකි බව මනාව පෙන්නුම් කරමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 80ක් රැස් කළේය. කාංචන ගුණවර්ධන ලකුණු 74යි. පන්දු යැවීමේදී කෝල්ට්ස් නායක කෝසල කුලසේකර ලකුණු 77ට කඩුලු 5ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.

කෝල්ට්ස් කණ්ඩායම ලබාගත් දැවැන්ත ලකුණු ගණනට ප්‍රතිචාර දැක්වීම සඳහා පිටියට පිවිසි මුවර්ස් පිතිකරුවන්ට කෝල්ට්ස් ප්‍රථම ඉනිම අසලකටවත් පැමිණීමට හැකි නොවීය. ප්‍රභාත් ජයසූරිය සහ ඉශාන් ජයරත්න හමුවේ නිරුත්තර වූ ඔවුන් ප්‍රථම ඉනිම සඳහා රැස් කලේ ලකුණු 158ක් පමණි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 40ට කඩුලු 4ක් බිඳ හෙලද්දී දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක ඉශාන් ජයරත්න මුවර්ස් කඩුලු 3ක් දවා ගනිමින් කෝල්ට්ස් ජයග්‍රහණය පහසු කළේය. මුවර්ස් ප්‍රථම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තරිඳු මෙන්ඩිස් රැස් කලේ ලකුණු 35ක් පමණි.

කෝල්ට්ස් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 209ක් පිටුපසින් නතර වූ මුවර්ස් ප්‍රථම ඉනිම නිසාම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයට මුහුණ දීමට මුවර්ස් ක්‍රීඩකයින්ට සිදුවිය. එහිදී ද ඔවුන් ලකුණු 132ක් තුලදී සියලු කඩුලු අහිමි කර ගත්තේ දරුණු පරාජයකට මාවත විවර කර ගනිමිනි. මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ සචිත්‍ර පෙරේරා හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 52ක් වාර්තා කළේය.

කෝල්ට්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේදී නායකයා සතු කාර්‍යභාරය ඉහළම අන්දමින් ඉටු කළ දිල්රුවන් පෙරේරා මුවර්ස් දෙවැනි ඉනිම සුණුවිසුණු කරමින් ලකුණු 25කට කඩුලු 4ක් බිඳ හෙලීය. නිසල තාරක කඩුලු 3යි. ඒ අනුව තරගය පුරා පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස සාර්ථක වූ කෝල්ට්ස් ක්‍රීඩකයින් ඉදිරි තරග වලදී අනෙක් කණ්ඩායම් වලට ප්‍රබල තර්ජනයක් විය හැකි බවට ඉඟි පළ කරමින් ඉනිමක සහ ලකුණු 77ක සුපිරි ජයක් ලැබීය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 367 (පන්දුවාර 101.2): දිල්රුවන් පෙරේරා 80, කාංචන ගුණවර්ධන 74, කෝසල කුලසේකර 5/77, තිලාන් තුෂාර 2/59, උමේෂ්ක මොරායස් 2/95.

මුවර්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 30.2)} තරිඳු මෙන්ඩිස් 35, රුවිඳු ගුණසේකර 28, ශනුක දුලාජ් 28, ප්‍රභාත් ජයසූරිය 4/40, ඉශාන් ජයරත්න 3/32.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 132 (පන්දුවාර 32.1)} සචිත්‍ර පෙරේරා 52, කෝසල කුලසේකර 23, දිල්රුවන් පෙරේරා 4/25, නිසල තාරක 3/29, ප්‍රභාත් ජයසූරිය 2/46.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට