බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම් දිමුත්ට

735

ජුනි මස 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය සඳහා තෝරා ගනු ලැබූ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා A සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද (12) නිල වශයෙන් නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකා A කණ්ඩායම කාර්යය බහුල වන ලකුණු

සිව් දින තරග හතරක් හා එක්දින තරග තුනක් සඳහා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම මේ මස අවසානයේ …

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න බංගලාදේශයට යන ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත. දිමුත්ගේ ඇඟිල්ලක ඇතිවූ ආබාධ තත්වය නිසා කොදෙව් සංචාරය සඳහා සහභාගී වීමට අවස්ථාවක් නොලැබුණි.

නමුත් මේ වන විට කරුණාරත්න සැලකිය යුතු මට්ටමකින් සුවයක් ලබා ඇති නිසා මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත ලබා දීමට ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ප්‍රමුඛ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ලකුණු 1031ක් ලබාගෙන 2017 වර්ෂයේ දී වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතරේ පස්වැනි ස්ථානයට පැමිණි කරුණාරත්න ලබන ජූලි මස 12 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති නිසා කරුණාරත්න හට ශ්‍රී ලංකා A තරග සංචාරය අවසන් වන තුරු එහි නායකත්වය දැරීමට සිදු නොවෙනු ඇත.

දිමුත්ගේ සහය පිණිස එම සංචිතයේ උපනායක ලෙස පත්කර ඇත්තේ පසුගිය දා නිමා වූ සිව්දින සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ගාලු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානකයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම ඇතුලත් කර ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන අශාන් ප්‍රියන්ජන් හා වමතින් පිත්ත හසුරුවන ලහිරු තිරිමාන්නට අමතරවයි.

යොවුන් ක්‍රීඩක චරිත් අසලංක, සම්මු අශාන් ද ශ්‍රී ලංකා A කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරනු පිණිස සංචිතයට ඇතුළත් කර ඇති අතර මනෝජ් සරත්චන්ද්‍ර ශ්‍රී ලංකා A කණ්ඩායමට තේරී පත්වූ පළමු අවස්ථාව ද මෙයයි. නිමා වූ 2017/18 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සරත්චන්ද්‍රගේ ලකුණු ලබා ගැනීමේ සාමන්‍යය 57.18ක් වැනි ප්‍රශස්ත මට්ටමක පැවතුනි.

වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය, දකුණතින් පිට දඟපන්දු යවන නිශාන් පීරිස් හා වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ බල ඇණිය සවිමත් කරනු පිණිස කණ්ඩායමට ඇතුළත් කර ඇත. ජයසූරිය හා පීරිස් නිමා වූ අන්තර් පළාත් සිව්දින සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳ දස්කම් අතරට පැමිණි පන්දු යවන්නන් වේ.

සංචිතයේ සිටින වේගපන්දු යවන්නන් ලෙස  නිසල තාරක හා දිලේෂ් ගුණරත්න ඇතුළත් කර ඇත්තේ මෑතක දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද ශෙහාන් මදුසංකට අමතරවයි. නිසල තාරක සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ තරග 3ක දී කඩුලු 11ක් දවා ගනිමිනි.

සම්පූර්ණ සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක (උපනායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන්, ලහිරු තිරිමාන්න, චරිත් අසලංක, සම්මු අශාන්, මනෝජ් සරත්චන්ද්‍ර, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, නිශාන් පීරිස්, ශෙහාන් මදුසංක, නිසල තාරක, දිලේෂ් ගුණරත්න.

අතිරේක ක්‍රීඩකයින් – ලහිරු මිලන්ත, විශ්ව ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය.

තරග කාලසටහන,

දිනය තරගය ක්‍රීඩාංගනය
ජුනි 26 සිට 29 දක්වා පළමු සිව්දින තරගය ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (ප්‍රධාන ක්‍රීඩාංගණය), කොක්ස් බසාර්
ජූලි 03 සිට 06 දක්වා දෙවන සිව්දින තරගය ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (ඇකඩමි ක්‍රීඩාංගණය), කොක්ස් බසාර්
ජූලි 10 සිට 13 දක්වා තෙවන සිව්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 17 පළමු එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 19 දෙවන එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)
ජූලි 22 තෙවන එක්දින තරගය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිල්හෙට් (SICS)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<