ලොව පැරණිතම ධාවන තරගයටත් කොරෝනා හරස් වේ

106

දිනෙන් දින වර්ධනය වෙමින් ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පැරණිතම මැරතන් ධාවන තරගය වන “Comrades Marathon” තරගය දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

ඔලිම්පික් පිරිවැය කවුද ගෙවන්නේ යන්න ගැටලුවක

කොරෝනා වයිරසය නිසාවෙන් මේ වසරේ පැවැත්වීමට තිබූ ක්‍රීඩා තරගාවලීන් සියල්ලම……..

මෙවර තරගය එළඹෙන ජුනි මස 14 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර කොරෝනා වයිරසය නිසාවෙන් නරඹන්නන් නොමැතිව හෝ තරගාවලිය පැවැත්වීමට මින් පෙර තීරණය කර තිබුණි.

කෙසේ නමුත් පසුගිය 9 වැනිදා දකුණු අප්‍රිකානු ජනාධිපති විසින් දින 14ක් සඳහා රට වසා දැමීමට ගත් තීරණය නිසාවෙන් තරගාවලිය කල් දැමීමට තීරණය කළ බව එරට මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් එරට මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී ඇලෙක්ස් සැක්හොසානා ප්‍රකාශ කර සිටියේ රට වසා දැමීමට ගත් තීරණය නිසාවෙන් සියලුම මලල ක්‍රීඩා කටයුතු අත්හිටුවීමට තීරණය කළ බවයි.

“රජයේ එම තීරණය නිසාවෙන් අපට සිදු වෙනවා සියලුම මලල ක්‍රීඩා කටයුතු අත්හිටුවීමට. එමෙන්ම මෙම තීරණය පවතින තත්වය මත තවත් දීර්ඝ විය හැක. වගකිවයුතු ජාතික සම්මේලනයක් හැටියට අපට සියල්ලට වඩා වැදගත් වන්නේ ක්‍රීඩකයින් හා මෙයට සම්බන්ධ සියලුම පාර්ශවයන්හී ආරක්ෂාවයි.”

“අප මෙම වයිරසයෙන් ආරක්ෂිත බව තහවුරු වුන දිනක අපට නැවතත් තරග ආරම්භ කළ හැකියි. එතෙක් රජයේ රෙගුලාසිවලට අවනතව මෙම වසංගතය මර්දනයට ගෙන යන සටනට සහය දී රජය සමඟ අත්වැල් බැදගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම මැරතන් තරගය “Ultramarathon” තරග කාණ්ඩයට අයත් වන අතර තරගයට සහභාගි වන්නන් කිලෝමීටර 90ක දුරක් සම්පූර්ණ කළ යුතු වේ. එමෙන්ම ලොව විශාලතම සහ පැරණිතම “Ultramarathon” තරගය වන මෙය 1921 දී ආරම්භ වී ඇත. මෙයට සහභාගි වන තරගකරුවන් හට තරගය සම්පූර්ණ කිරීමට පැය 12ක කාලයක් හිමි වන අතර එම කාල සීමාව තුළ දී තරගය නිමා කරන මුල්ම ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් දස දෙනා හට රන් පදක්කම් හිමි වේ.

පවතින මෙම අයහපත් තත්වය නිසාවෙන් ලොව පුරා පැවැත්වීමට නියමිතව තිබූ මැරතන් තරග බොහොමයක් කල් දැමීමට සිදු වූ අතර මෙම වයිරසය නිසාවෙන් මේ වන විට පුද්ගලයින් 147,000කට අධික පිරිසක් මියගොස් තවත් පුද්ගලයින් 2,192,000කට අධික සංඛ්‍යාවක් රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<