Daryl Mitchellගේ ශතකයෙන් පසු Matt Henryගෙන් නොසිතූ ප්‍රහාරයක්

936
Credit : Getty Images

Daryl Mitchelගේ සටන්කාමී ශතකයත්, පසුපෙළ පිතිකරුවන්ගේ අමතර සහයත් නිසා ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (11) නිමා වන විට නැවතත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වන්නට නවසීලන්තය සමත් වුනා.

මේ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 65ක් ඉදිරියෙන් සිටිනවා.

ඊයේ දිනය නිමා වෙද්දී තරගයේ සම්පූර්ණ පාලනය සහිතව සිටි ශ්‍රී ලංකාව නවසීලන්තයේ මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 162ක් තුල දවා ගැනීමට සමත්ව සිටියා. මේ නිසා ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 193ක් පසුපසින් සිටි නවසීලන්තය වෙනුවෙන් පිටියේ රැඳී සිටියේ ඔවුන්ගේ අවසන් නම් දැරූ පිතිකරණ යුගලයයි.

කෙසේ නමුත් අද උදෑසන පළමු සැසිය තුල දී ම නවසීලන්ත ඉනිමට නැවතීමේ තිත තැබීමට බලා සිටි ශ්‍රී ලංකාවට නවසීලන්ත පසුපෙළ ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කළා. පසුගිය දින දෙකේ දී තරම් දෝලනයක් අද දිනයේ Hagley Oval පිටියේ දකින්නට නොලැබුනු නිසා වේගපන්දු යවන්නන් පසුබා සිටි මොහොතේ ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල හිමිකර දෙන්නේ ප්‍රභාත් ජයසූරියයි.

එහි දී ලකුණු 25 දී දැවී යන්නේ Michael Bracewellයි. මීට අමතරව නායක Tim Southee ද අද ලකුණු 25ක් රැස් කළා. මෙම කෙටි ඉනිම් ශ්‍රී ලංකාවට විශාල හානියක් නොකළ ද, නවසීලන්ත පසුපෙළේ සියලුම පිතිකරුවන් අද ලකුණු අතරට පිවිසීම නිසා ඔවුන්ට නවසීලන්තය තම පළමු ඉනිම අභිබවා යාම නතර කර ගැනීමට හැකි වුනේ නැහැ.

තම කණ්ඩායමට අත්‍යාවශ්‍ය වූ මොහොතේ තම ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට සමත් වූ Daryl Mitchell අද පන්දු 193කින් ලකුණු 102ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟිනුයි. ශ්‍රී ලංකාවේ සියලු සැලසුම්වලට පිටින් ඉනිමක් ක්‍රීඩා කළ Matt Henry අද ලබා ගත් ලකුණු 72 ශ්‍රී ලංකාවට දැවැන්ත තර්ජනයක් එල්ල කළා.

පන්දු 75කට පමණක් මුහුණ දුන් ඔහු එහි දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් එල්ල කළේ නවසීලන්තයට ලකුණු 18ක පළමු ඉනිමේ වාසියක් ද හිමිකර දෙමින්. විශේෂයෙන්ම ඔහු ධනංජය ද සිල්වා යැවූ පන්දුවාරයක දී ලකුණු 17කුත්, කසුන් රාජිත යැවූ පන්දුවාරයක දී ලකුණු 24කුත් උදුරා ගන්නේ අනුකම්පා විරහිත ප්‍රහාරයක නිරත වෙමිනුයි. Henry අද වාර්තා කළේ තම 4 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

තේ විවේකයට අඩ හෝරාවකට පමණ පෙරාතුව නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට අවසන් වෙද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4කුත්, ලහිරු කුමාර කඩුලු 2කුත් දවාගෙන තිබුණා. අත්දැකීම් අතින් වැඩි කසුන් රාජිත ලකුණු 104ට කඩුලු 2යි.

ශ්‍රී ලංකාව අද තම දෙවැනි ඉනිම ගොඩ නැගුවේ තරමක් මන්දගාමී ස්වරූපයෙනුයි. තමන් ගොඩනැගූ විශාල ප්‍රථම ඉනිම නොසිතූ අන්දමින් නවසීලන්තය පසුකර යාමට සමත් වීම නිසා ඇති වූ මානසික කඩා වැටීම ද ඊට යම් තරමකින් බලපාන්නට ඇති. තේ විවේකය දක්වා කඩුලු ආරක්ෂා කරගන්නට ශ්‍රී ලංකාවට හැකි වුවද, තෙවැනි සැසියේ දී ඔවුන්ට වටිනා කඩුලු 3ක් අහිමි වුනා.

එම කඩුලු 3ටම හිමිකම් කිව්වේ දකුණතින් වේගපන්දු යවන යවන ක්‍රීඩක Blair Ticknerයි. ඔහුගේ පළමු කඩුල්ල ලෙස ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දවා ගත්තේ ලකුණු 17කටයි. ඒ Henry Nicholls ලබා ගත් විශිෂ්ට උඩපන්දුවක උපකාරයෙන්.

හතරේ පහර 4ක් සමඟින් ඕෂධ ප්‍රනාන්දු හොඳ ආරම්භයක් ලබා ගත්ත ද, අවසානයේ ඔහු ලකුණු 28කට දැවී ගියා. ඕෂධ එහි දී අවදානම් පහරක් එල්ල කිරීමට ගත් උත්සාහය අවසන් වුනේ නවසීලන්තය තවදුරටත් තරගයට අවතීර්ණ කරවමිනුයි. ඉන්පසු ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් අතරේ ලකුණු 34ක සබඳතාවයක් වර්ධනය වුවත් එය දිනය නිමා වීමට ආසන්නයේ දී අවසන් වුනා.

එහි දී දැවී ගියේ පළමු ඉනිමේ ගොඩනැගූ ප්‍රවේගකාරී ඉනිමට වඩා හාත්පසින්ම වෙනස් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිසුයි. ඔහු අද තම ලකුණු 14 වෙනුවෙන් පන්දු 55කට මුහුණ දුන්නා. මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය තම රාජකාරිය සම්පූර්ණ කළේ පන්දු 14ක් පුරාවට තම කඩුල්ල ආරක්ෂා කර ගනිමිනුයි.

තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මුළු ලකුණු 14,000 පසුකර යාමට අද සමත් වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තම හිස මත දරාගෙන අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටිනවා. ඒ ලකුණු 20ක් ලබා ගනිමිනුයි. පන්දුවාර 38ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම දැක්වෙන්නේ ලකුණු 83ට කඩුලු 3ක් ලෙසයි.

කෙසේ නමුත් ගණිතමය වශයෙන් ශ්‍රී ලංකාව තවමත් නවසීලන්තයට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 65ක් පමණක් වන නිසා මේ වන විට තරගයේ වැඩි පීඩනයක් තිබෙන්නේ ශ්‍රී ලංකාව දෙසට බව පිළිගත යුතුයි. තරගයේ තීරණාත්මක සිව්වැනි දිනයේ වන හෙට දිනයේ (12) තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<