ශ්‍රී ලංකා වේග පන්දුවේ අනාගතය ඉතා පැහැබර වීමේ ලකුණු පෙනෙනවා – වසීම් අක්‍රම්

1708
Wasim Akram and Chaminda Vaas

මෙරට වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින්, පාකිස්තානයෙන් බිහිවූ ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන වසීම් අක්‍රම් වේග පන්දු පුහුණු උපදේශක වරයෙකු ලෙස එක් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

පසුගිය ලිපි: සමාරම්භක තරගයෙන්ම කෝල්ට්ස් පිළට දැවැන්ත ජයක්

පසුගියදා පැවති ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වූ වසීම් අක්‍රම් ඊයේ ශ්‍රී ලංකා ජාතික මට්ටමේ සංචිත ගතව සිටින සියලු වේග පන්දු යවන්නන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් පැවැත්වුයේ කොළඹ SSC ක්‍රීඩාංගනයේ දීයි.

අද මේ වැඩමුළුවට විශිෂ්ට පන්දු යවන්නන් වන ලසිත් මාලිංග, නුවන් කුලසේකර වැනි අයගේ සිට ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාගී වුනා. ඒ කියන්නේ ඔවුන්ට උවමනාව තියනවා ඉගෙන ගන්න. ඒ වගේම පුහුණුකරුවනුත් සහභාගී වුනා, මාත් සමඟ ක්‍රීඩා කල චම්පක රාමනායක, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර ඒ අතර සිටියා. පුහුණුකරුවන් මෙම වැඩමුළුවට සහභාගී වුනේ මම මේ ක්‍රීඩකයන්ට උගන්වන දේවල් පසුව දිගින් දිගටම කරගෙන යාමට ඔවුන්ට හැකිවන නිසයි. මම විශ්වාස කරනවා මෙම ක්‍රියාවලිය මගින් අනාගතයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල හැකි යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් හඳුනා ගන්නට හැකියාව ලැබෙයි කියලාපන්දු දෝලනයේ රජු ලෙස හැඳින්වෙන වසීම් අක්‍රම්  මාධ්‍ය වෙත පැවසීය.

තරග දිනවිය හැකි දඟ පන්දු යවන්නන් කිහිප දෙනෙකුම බිහි කල රටක් ලෙස ඉතිහාස ගත වන ශ්‍රී ලංකාව අදටත් බොහෝ අවස්ථා වලදී තරග ජයග්‍රහණය සඳහා වැඩි විශ්වාසයක් තබන්නේ දඟ පන්දු  යවන්නන් වෙතයි. කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩාවේ රිද්මය දඟ පන්දු යවන්නන් හට තරමක් අවාසි සහගත ලෙස වෙනස්වී ඇති අතර අක්‍රම් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව තුල වේග පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් ක්‍රීඩකයන් අවශ්‍ය තරම් සිටින බවයි.

මම හිතනවා ශ්‍රී ලංකා වේග පන්දුවේ අනාගතය ඉතාම සාර්ථක වෙයි කියලා. මම වේග පන්දු යවන්නේකුගෙන් බලාපොරොත්තු වෙන්නේ වේගය සහ දෝලනයයි. ඒ වගේම මේ වයසේදී පන්දු යවන්නන්ගේ ඉරියවු වෙනස් කිරීම එතරම් සාර්ථකයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම කාගේ හරි පන්දු යැවීමේ ඉරියවුවක් වෙනස් කරනවා නම් වයස අවුරුදු 17 ට කලින් කරන්න ඕනේ. මමත් සමඟ අද පුහුණුවීම් කරපු 19න් පහල ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් තුල හැකියාව වගේම ක්‍රීඩාවට ඇති ආශාව මම හඳුනා ගත්තා. ඔවුන්ට අවශ්‍ය කරන්නේ තවත් සුළු කරුණු කිහිපයක් ඉගෙන ගැනීම පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම ශ්‍රී ලංකාවත් හැම වෙලාවේම මගේ හදවතට ඉතා සමීපව තිබුණා. මට නම් තවමත් ලෝකයේ හොඳම රට ශ්‍රී ලංකාවයි. අක්‍රම් වැඩිදුරටත් පැවසීය.

ආසියානු ක්‍රිකට් කරලියේ වේග පන්දු තෝතැන්න ලෙස අතීතයේ සිටම සැලකුනේ පාකිස්තානයයි. වසීම් අක්‍රම් ඒ සඳහා හොඳම උදාහරණය වන අතර ඉම්රාන් ඛාන්, වකාර් යුනුස්, ෂොයිබ් අක්තාර් විශිෂ්ට පාකිස්තානු වේග පන්දු යවන්නන් අතර ජනප්‍රිය චරිත කිහිපයකි.

වසීම් අක්‍රම් වර්තමාන පාකිස්තානු වේග පන්දු බල ඇණිය පිලිබඳ දරන්නේ තරමක් වෙනස් අදහසක්, මම හිතන විදිහට පාකිස්තානු වේග පන්දු යවන්නන්ට, විශේෂයෙන් වහබ් රියාස් සහ මොහොමඩ් අමීර් වගේ අයට තියන ප්‍රශ්නය තමයි ඔවුන් පන්දුව දෝලනය නොකිරීම. වේගය වැදගත් තමයි, නමුත් ඔබ පිතිකරුවෙකුගෙන් ඇහුවොත් ඔහු කියයි පන්දුව දෙපසටම දෝලනය කරන මද වේග පන්දු යවන්නෙකුට මුහුණ දෙනවාට වඩා දෝලනය අඩු ඉතා වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයෙකුට මුහුණ දෙන්න ඔහු කැමතියි කියලා. පන්දුව දෝලනය වෙනවා නම් ඉතාම ඉහල අවස්තාවක් තියනවා කඩුල්ලක් දවා ගැනීමට. එය නොමැතිකම තමයි දැනට පාකිස්තානයට තිබෙන ප්‍රශ්නය

වසීම් අක්‍රම් ඉදිරියේදීද කාලය ලැබෙන අයුරින් හෝ අවශ්‍යතාවක් ඇතිවූ විට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් පුහුණු කිරීම සඳහා උපදේශක මට්ටමේ සේවයක් ලබා දීමට නියමිතයි. මීට වසර කිහිපයකට පෙර තමන් IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි කාලයේ වසීම් අක්‍රම් ලබාදුන් ගුරුහරුකම් පිලිබඳ ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරන්නට වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අමතක කලේ නැත. ඔහු වැනි කෙනෙක් සමග වැඩ කරන්නට ලැබීම විශේෂ වරප්‍රසාදයක් වගේම මහත් ගෞරවයක්. හැමෝම ඔහුට කියන්නේ පන්දු දෝලනයේ රජු කියලයි. නමුත් මම නම් හිතන්නේ ඔහු තමයි වේග පන්දුවේම රජු.මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මෙහිදී පැවසුවේ තමන් ක්‍රීඩා කල සමයේ තමන්ව වඩාත්ම භීතියට පත් කල පන්දු යවන්නා වුයේ වසීම් අක්‍රම්  බවයි. එවන් ක්‍රීඩාවේ විශිෂ්ටයන් සමග පුහුණුවීම් කිරීමට ලැබෙන අවස්ථාව මෙරට ක්‍රිකට් අනාගතයට ඉතා වැදගත් වන බව අරවින්ද ගේ විශ්වාසයයි. මේ දිනවල ක්‍රීඩාව කෙරෙන ආකාරය දිහා බැලුවාම අපි දකිනවා ව්‍යායාම උපදේශකයන්, භෞත චිකිත්සකයන් උත්සාහ කරනවා වේග පන්දු යවන්නන් පුහුණුවේදී යවන පන්දු සංඛ්‍යාව සීමා කරන්න, ඔවුන් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාව සීමා කරන්න. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ මේකේ සමබරතාවයක් ඇති කරලා සොයා බලන්න ඇයි වේග පන්දු යවන්නන් මෙතරම් ආබාධ වලට ලක් වෙන්නේ කියලා.අරවින්ද පවසයි.

ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම වමත් වේග පන්දු යවන්නෙකු ලෙස පිළිගැනෙන වසීම් අක්‍රම් ටෙස්ට් කඩුලු 414 කට සහ එක්දින තරග 356කදී දවාගත් 502 කට හිමිකම් කියන අතර එය අදටත් පාකිස්තානු ජාතික වාර්තාවකි.

ආබාධ ගැන කතා කරනවානම් ඩෙනිස් ලිලී, ඉම්රාන් ඛාන් සහ වසීම් වැනි වේග පන්දු යවන්නන් ක්‍රීඩා කලේ ආබාධ වලින් දිගින් දිගටම පීඩා විඳිමිනුයි. විශේෂයෙන්ම වසීම් විශිෂ්ටයෙක් බවට පත් වුනේ ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාම ඔහුගේ ඉකිලි ප්‍රදේශයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කරලායි. මමත් ඒ වගේම ආබාධයක් සමගින් ක්‍රීඩා කලේ දිගින් දිගටම ඒ සඳහා ඖශධ භාවිත කරමිනුයි. මම එම ආබාධය සුව කර ගැනීම සඳහා ශල්‍යකර්මය සිදු කලේ මීට වසර 4 කට පෙරදී. මට මත වෙනවා 1999 වසරේදී පාකිස්තානය සමග පැවැත්වුණු ඉතා වැදගත් ටෙස්ට් තරගයකදී අර්ජුන රණතුංග ඇඟිල්ලක අස්ථි බිඳීමක් සමගින් ක්‍රීඩා කරලා එම තරගය අපිට දිනවලා දුන්නා. මම හිතනවා අන්න ඒ වගේ මානසික වශයෙන් ශක්තිමත් ක්‍රීඩකයන් අපිට අවශ්‍යයි. ඒ සඳහා මේ වගේ විශිෂ්ටයන් සමග මුසු වෙන්න අවස්තාව ලබා දීලා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීම අපේ යොවුන් ක්‍රීඩකයන් හට ඉතාම වැදගත් වෙයි කියලා.අරවින්ද වැඩි දුරටත් පැවසීය.

සාර්ථක සිම්බාබ්වේ සංචාරයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අභියෝගය ඉතා අසීරු ගිරි දුර්ගයකි. සිය ක්‍රීඩාවේ උපරිම දස්කම් අතරට ලඟා වී සිටින දකුණු අප්‍රිකානුවන් සමග එරටදී ටෙස්ට් තරග 3 කට, එක්දින තරග 5 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගී වීමේ අසීරු තරග සංචාරය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් දකුණු අප්‍රිකානුවන්ගෙන් අතිශය ප්‍රභල අභියෝගයක් එල්ල වනු ඇතැයි බලාපොරොත්තු වන අතර වසීම් අක්‍රම් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාංගන වල තත්ත්වය පිලිබඳ තම අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමගින් බෙදා ගැනීමටද අමතක කලේ නැත.

මම මුලින්ම මේ පන්දු යවන්නන් සමග කතා බහ කරද්දී කිවුවේ වේග පන්දු යැවීම කිසිසේත්ම පහසු කාර්යයක් නෙමෙයි කියලා. ඔබේ වයස කීයක් වුනත් වේග පන්දු යවන්නෙකු නම් ඔබට සුළු ආබාධ වල සිට පිට කොන්දේ, කලවා ප්‍රදේශයේ, උරහිස් වල ප්‍රධාන ආබාධ දක්වා ඕනෑම දෙයක් සිදුවිය හැකියි. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ තණතීරු වලදී, එහි ක්‍රීඩාංගන වල වැලි ප්‍රතිශතය ඉතා වැඩියි, ඒ වගේම පොලව හරිම තදයි. ඉතින් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නෙමෙයි. මගේ කාලයේදී මට සිදුවුනා වේදනාව දරාගෙන වුනත් ක්‍රීඩා කරන්න. ශරීරයේ වේදනා, හිසරදය විතරක් නෙමෙයි උණ තියාගෙනත් මම ක්‍රීඩා කරලා තියනවා. මොකද මම දන්නවා පැය කිහිපයකින් සියල්ල යථා තත්ත්වයට පත් වෙනවා කියලා. නමුත් අද මොකද වෙන්නේ, පුංචි වේදනාවක් ඇති වුනු ගමන් ක්‍රීඩකයන් කියන්නේ මට ක්‍රීඩා කරන්න බැහැ කියලයි.. ඒ තමයි මානසික ශක්තිය.. වසීම් අක්‍රම්  අවසන් වශයෙන් පැවසීය.