“යුරෝපයේ පාපන්දු වලට සිදුවුණු දේ තමයි වෙන්නේ” – කපිල් දේව්

769
sportsindiashow.com

වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වෙමින් තිබෙන්නේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවට සිදු වූ දෙය බව ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් Sydney Morning Herald (සිඩ්නි මෝනිං හෙරල්ඩ්) වෙත පවසනවා.

ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් රැකගැනීම වෙනුවෙන් ICCය ඉදිරියට පැමිණිය යුතු බවයි ඔහු පවසන්නේ. වරලත් ක්‍රිකට් ගෝලීයව ජනප්‍රිය වෙමින් තිබීම ඊට හේතුවයි. එය ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරයට සිදුකරන්නේ දැඩි බලපෑමක්.

ලබන වසර මුල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීත්, දකුණු අප්‍රිකාවේ දීත් පැවැත්වීමට නියමිත T20 තරගාවලි නිසා තත්වය තවත් අභියෝගාත්මක වී තිබෙනවා.

ලබන වසරේ දී IPL (ඉන්දීය ප්‍රීමියර් ලීගය) සඳහා දිගු කාල පරාසයක් ගත වීමත් (මාර්තු 23 සිට මැයි 25 දක්වා), බිග් බෑෂ්, එංගලන්ත T20 තරගාවලි සඳහා ද දිගු කාලයක් අවශ්‍ය වීමත් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කාලය සීමිතයි.

වරලත් ක්‍රිකට් (T20) තරගාවලි සඳහා සහභාගී වීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට ගෙවන මුදල ද ඉහළ නිසා ඔවුන් ජාත්‍යන්තර කොන්ත්‍රාත්තු ද පසෙකලා වරලත් ක්‍රිකට් කරා විතැන් වීම දක්නට ලැබෙනවා.

ක්‍රිකට් කැලැන්ඩරයේ කාර්යබහුල ස්වභාවය නිසා එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගත්තා. ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටින නවසීලන්ත ජාතික ට්‍රෙන්ට් බෝල්ට් ද ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වුනා.

දකුණු අප්‍රිකා කණ්ඩායම 2023දී ඕස්ට්‍රේලියා කණ්ඩායම හා තරග වැදීමට නියමිතව තිබූ තරගාවලිය අවලංගු කළා.

කපිල් දේව් සඳහන් කරන්නේ ICCයට ක්‍රීඩාවේ පාලනය පිළිබඳ විශාල වගකීමක් ඇති බවයි.

යුරෝපයේ පාපන්දු වලට සිදුවුණු දේ තමයි වෙන්නේ.”, ඔහු පැවසුවා.

ඔවුන් රටවල් වලට එරෙහිව ක්‍රීඩා කරන්නේ නැහැ. අවුරුදු 4කට එකපාරක් (ලෝක කුසලාන) විතරයි.”, ඔහුගේ අදහස එයයි.

ඒකද අපට ලැබෙන්න යන්නේ? ලෝක කුසලාන තරගාවලියකුයි ඉන්පස්සේ ක්‍රීඩා සමාජ වලට (වරලත් ක්‍රිකට්) ක්‍රීඩා කරන එකයි? ඒ හා සමානවම ක්‍රීඩකයන් ප්‍රධාන වශයෙන් IPL හෝ බිග්බෑෂ් වගේ තරගාවලි වල විතරක් ක්‍රීඩා කරන එක?”, ඔහු විමසනවා.

“ICCය ඒ වෙනුවෙන් වැඩි කාලයක් ඒකට වෙන්කරන්න ඕන. ක්‍රීඩා සමාජ ක්‍රිකට් විතරක් නෙමෙයි, ඔවුන්ට එක්දින ක්‍රිකට්, ටෙස්ට් ක්‍රිකට් වල සුරක්ෂිතභාවය සහතික කරන්න පුළුවන් කොහොමද කියලා.”, 1983 ලෝක කුසලාන පහස ඉන්දියාවට ලබාදුන් නායක කපිල් දේව් පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<