“ඒ හීනයට යන්න මම ගොඩක් මහන්සි වුනා” – යුපුන්

289

දකුණු ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසය නැවත ලියවමින් පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු දකුණු ආසියානු මලල ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට පසුගිය දා හැකි වුනා.

එම සිදුවීම මෙරට ප්‍රේක්ෂකයන් රැසකට සතුට දනවන කාරණයක් වූ අතර මෙතෙක් කල් තමන් සමඟ සිටි ප්‍රේක්ෂකයන් සමඟ අදහස් බෙදා ගැනීමට සඳහා යුපුන් ඊයේ (05) සිය Facebook ගිණුම ඔස්සේ සජීවීව පැමිණියා.

එහි දී තමන් සහභාගී වූ එම ඉතිහාසගත තරගය සහ සිය ප්‍රධානතම සිහිනය සැබෑ කර ගැනීමට හැකි වීම පිළිබඳව අදහස් දැක්වූ යුපුන් ප්‍රකාශ කළේ,

“ඒක මාරම සතුටු හිතෙන දෙයක්, මම ගොඩක් කාලෙක ඉඳන් ඒකට උත්සහ කළා. ඔයාලත් බලන් හිටියා මේ දවස එනකම්. මේක හීනයක් ඇත්තටම ලංකාවට වගේම දකුණු ආසියාවටම. ඒ හීනෙට යන්න මම අවුරුදු ගානක් මහන්සි වුනා.

මම දැනන් හිටියා මේ අවුරුද්දේ මට මගේ සිහිනයට යන්න පුළුවන් වෙයි කියලා. ඒක මට නිකං හිතුණ දෙයක් නෙවෙයි, ඒක මම සහ මගේ පුහුණුකරු සැලසුම් කරලා අවුරුදු 3ක් තුළ ඒ ආපු ගමනේ ප්‍රතිඵලයක්. මේ අවුරුද්දේ මේ කාලේ වෙන කොට ඒක කරන්න පුළුවන් කියලා අපි දෙන්නම දැනන් හිටියා.

මොකද මේ තරගයේ මැජික් කරන්න බෑ, පියවරෙන් පියවර අපි දියුණු කරගෙන යන්න ඕන. මම මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන් උත්සහ කරන්න ඒත් මට ඒක කරන්න තිබ්බ අවස්ථා කිහියපක්ම මඟ හැරුණා.

අපේ ජීවිතේ අවස්ථාවක් මඟ හැරුනොත් ආයේ එන්නේ නැහැ. අවුරුදු ගානක මහන්සිය තියෙන්නේ මේ තප්පර 9 ඇතුළේ. එම පියවරක් මඟ හැරුනොත් ඔක්කම ඉවරයි. මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා වගේම දුකක් තිබ්බා ඇයි මට මේක තාම කරන්න බැරි කියලා.

මට හොඳ කාලගුණ තත්වයක් තිබ්බේ නැහැ දුවන්න, ඒත් අන්තිමේ දී හොඳ කාලගුණ තත්වයක් යටතේ මම ඒක කළා. ඇත්තටම මාරම සතුටුයි. ඉතින් ඒ ගැන කියා ගන්න වචන නැහැ.

අපි හැමෝටම තියෙන සිහිනයක්, එතනට ආවම අපිට හිතෙනවා මගේ ඉලක්කය දැන් ඉවරයි කියලා. ඒ වගේ හැඟීමක් මට තියෙන්නේ, ඒ තරම් මට මේක මාරම වටින දෙයක්. හෙට ඉඳන් මගේ ජීවිතේ අනිත් දේවල් මට හම්බෙන්නේ බෝනස් එකක් විදියට.

හෙට දවසේ මම කාලයක් වාර්තා කළත්, දින්නත් පැරදුනත් මට මතක තියෙන්නේ දේවල් දෙකයි. එකක් මම පළවෙනි පාරට ජාතික වාර්තාව බිඳ හෙළපු එක, දෙවැනි එක මම 10ට අඩුවෙන් දුවපු රේස් එක.

ඒත් මෙතනින් මේක ඉවර නැහැ. මම උත්සහ කරනවා මගේ හොඳම දේ කරන්න ලංකාව වෙනුවෙන්.

මේ කාලය ගැන කිව්වොත් ලෝකේ 169යි තත්පර 10ට අඩුවෙන් දුවලා තියෙන්නේ, මම ඒකෙන් 167 වැනියා. ඒ වගේම දකුණු ආසියාවේ පළවෙනියා වගේම ආසියාවේ හතරවැනි හොඳම කාලය. කියන්න වචන නෑ ඒ ජයග්‍රහණය ගැන”.

එමෙන්ම මෙම වසර තුළ ඔහුට තිබූ සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් යුපුන් අබේකෝන් ප්‍රකාශ කළේ,

“මේ අවුරුද්ද පටන් ගනිද්දී අපිට තිබුණ ඉලක්කය ආසියානු පදක්කමක්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තරගය නියෝජනය කරන එක සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමයි.

මොකද අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා, කාලයක් තියෙනවා. අපිට පුළුවන් සීමාව අපි දන්නවා. ඒ නිසා මම බොරුවට මට ඒක කරන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. මේ කාලයත් එක්ක තව හොඳ කාලයක් වාර්තා කරන්න පුළුවන් වුනොත් මම හිතනවා මට වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී”.

එමෙන්ම එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් යුපුන් අබේකෝන් ප්‍රකාශ කර සිටියේ,

“බාධක හැමදේම මැද්දේ මේ ආව ගමන ගැන මට සතුටුයි. මම මගේ පුහුණුකරු එක්කත් කතා කළා මම ආපු ගමන ගැන. එයත් දන්නේ නැහැ ඉතාලි ඇවිත් මම ආපු ගමන ගැන ගොඩක් දේවල්. මොකද මට එයාව හම්බුනේ 2019 අවුරුද්දෙයි. මම එදා රෑ සම්පූර්ණ කතාව කිව්වා පුහුණුකරුට. ඒක එයාට හරි සංවේදී කතාවක් වුනා.

එයාලා මගේ කතාව ඇහුවට පස්සේ කිව්වේ යුපුන් මේක අපි දවසක වීඩියෝ කරන්න ඕන දවසක මිනිස්සු මේක ගැන අනිවාර්යයෙන් දැන ගන්න ඕන කියලා.

මොකද තමන්ගේ ඉලක්කය දැකලා යන මිනිස්සුන්ට ඒකට එන බාධකවලට මූණ දෙන්නේ කොහොමද, ඒ එන ප්‍රශ්න මඟ හැරලා යන්නේ කොහොමද කියලා ඔක්කම දේවල් ඒ කතාව ඇතුළේ තිබ්බ නිසයි.

ඒකෙන් මම බලාපොරොත්තුවෙන් ඉන්නේ තමන්ගේ හීන වෙනුවෙන් ඉන්න පොඩි අය කිසිම දෙයක් නිසා හීනය අතහරින්නේ නැතුව තමන්ගේ හීනයට ගිහිල්ලා එදාටත් මම වගේ කතා කරන්න පුළුවන් තත්වයට ගේන්න පුළුවන් නම් මගේ කතාවෙන් මට ලැබෙන උපරිම දේ ඒක. මට එයාලා වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම දේ ඒක.

ඉතින් කවදාවත් හීන අතහැරගන්න එපා කවුරු නිසාවත්, කිසිම හේතුවක් නිසාවත්. මොකද අපිට දවසක මොන දේ ලැබුනත් අපි දවසක දුක්වෙයි මගේ හීනේ මට අද සපුරා ගන්න බැරි වුනා කියලා. ඉතින් ඒ දේ කරගන්න එපා, ඒකෙන් තමන්ටම සමාව දෙන්න බැරි වෙයි.

ඒ හිනේට කවදාම හරි දවසක අගයක් වටිනාකමක් තියෙනවා. තමන්ගේ ඉලක්කයට ගියොත් දවසක ඒ වටිනාකම අනිවාර්යයෙන් අපිව හොයන් එනවා.

ඉතින් ගොඩක් ස්තුතියි මම එක්ක හිටියට. ගොඩක් දෙනෙක් ආසාවෙන් හිටියා ඒ කාලය දකින්න. ඒක ලංකාවටම විශාල දෙයක්. එතනට යනකම් මම එක්ක හිටිය හැමෝටම ගොඩක් ආදරෙයි. ප්‍රේක්ෂකයන් විදියට ඔයාලට කරන්න පුළුවන් උපරිම දේ ඒකයි. හැමෝටම ගොඩක් ස්තූතියි”.

යුපුන් අබේකෝන්ගේ Facebook ගිණුම ඔස්සේ සිදු කළ සජීවි විකාශය ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<