නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා විස්සයි 20 සංචිතයට

3288

දකුණු අප්‍රිකාව සමඟ මීළඟ සතියේදී පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් 20-20 තරඟාවලිය සඳහා සහභාගී වන පහළොස්දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නම්කරනු ලැබීය.

පසුගිය ලිපි: මාලිංගට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

එහි පළමු තරඟය ජනවාරි 20 වැනිදා සෙන්චූරියන් හිදී පැවැත්වෙන අතර දෙවන හා තෙවන තරඟ පිළිවෙලින් 22 සහ 25 යන දිනයන්හිදී පැවැත්වෙනු ඇත.

සංචිතයට ඇතුලත් වූ නවක මුහුණක් වන්නේ මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකු වන, දැනට හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන තික්ෂිල ද සිල්වා ය. වේගපන්දු යවන්නෙකු වන ඔහු කුඩා කල සිටම ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රකට අතර දේශීය 20-20 තරඟාවලියේදී 144.37ක ප්‍රහාරක වේගයක් රඳවාගෙන සිටියි.

අවසන් වරට 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව 20-20 තරඟාවලියක්  ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව 2-0ක් වශයෙන් එය පරාජය විය. කුසල් පෙරේරා, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, කසුන් රාජිත, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, චාමර කපුගෙදර යන ක්‍රීඩකයන් එම තරඟාවලියට සහභාගී වූ සංචිතය නියෝජනය කළ අතර ඔවුන් මේ තරඟාවලියට එක්කොට නැත.

මුල් පෙළ වමත් පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකද, අවසන් වරට නවසීලන්තයට එරෙහිව 2016 ජනවාරියේදී 20-20 තරඟයකට ක්‍රීඩා කළ ඉසුරු උදානද, මෙම සංචාරයට එක්කොට තිබේ. 2009 වසරේදී 20-20 තරඟ දිවිය ඇරඹු උදාන, මෙතෙක් 20-20 තරඟ 7කට ක්‍රීඩා කොට ඇති අතර කඩුළු 5ක් දවාගෙන ඇත.

ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟාවලිය ආබාධයක් හේතුවෙන් අහිමිවූ ඇන්ජලෝ මැතිව්ස් නායකයා වශයෙන්ද, නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්, වේගපන්දු යවන්නන් වශයෙන්ද සංචිතයට එක්වෙයි.

ලහිරු කුමාර, ටෙස්ට් තරඟාවලියෙන් පසු දකුණු අප්‍රිකාව තුළම රැඳෙන අතර ලැබෙන ආරංචිවලට අනුව ඔහුට එක්දින තරඟාවලියේ නිත්‍ය ස්ථානයක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, තික්ෂිල ද සිල්වා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට