වත්තල ලයිසියම්, වලල ඒ. රත්නායක විද්‍යාල සමස්ත ශූරයන් වෙයි

රිට්ස්බරි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

294
Sir John Tarbet athletic championship 2022 Day 04

90 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ සිව්වැනි සහ අවසන් දිනය අද (16) පැවැත්වුනා.

වයස අවුරුදු 18න් පහළ යගුලිය විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පානදුර රාජකීය විද්‍යාලයේ ඩබ්. ජයවි රන්හිඳ මීටර් 17.23ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීමට අද සමත් වුනා.

එම වයස් කාණ්ඩයේම දුර පැනීමේ තරග ඉසව්වේ නව වාර්තාවකට හිමිකම් කීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආර්. කරීම් සමත් වුනා. එහි දී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 7.20ක්.

මේ අතර වයස අවුරුදු 20න් පහළ මීටර් 400 ඉසව්වට සහභාගී වූ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞශල්‍ය එම ඉසව්ව තත්පර 46.96කින් නිමා කරමින් නව වාර්තාවකට හිමිකම් කීමට සමත් වුනා.

දිනයේ වාර්තා වූ අවසන් බාලක වාර්තාවට හිමිකම් කීමට චාවකච්චේරි හින්දු විද්‍යාලය නියෝජනය කරමින් වයස අවුරුදු 16න් පහළ රිටි පැනීමේ ඉසව්වට සහභාගී වූ එස්. කල්‍යානන් සමත් වුනා. ඔහු මීටර් 3.60ක දක්ෂතාවයක් දක්වමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

බාලිකා වයස අවුරුදු 20න් පහළ මීටර් 400 ඉසව්වට සහභාගී වූ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. එම්. ටී. ඩී. කරුණාරත්න තරගාවලි වාර්තාව සමකිරීමට සමත් වුනා. ඒ එම ඉසව්ව තත්පර 55.24ක කාලයකින් නිමා කරමින්.

බාලිකා වයස අවුරුදු 16න් පහළ තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ කොළඹ සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ ඔශිනි කොඩිකාර එහි දී මීටර් 11.64ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

මේ අතර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය තවත් වාර්තාවකට හිමිකම් කීමට සමත් වුනා. ඒ බාලිකා වයස අවුරුදු 20න් පහළ මීටර් 400X4 ඉසව්ව නියෝජනය කරමින්. එම  විද්‍යාලයීය කණ්ඩායම තරග ඉසව්ව විනාඩි 3.57.86ක කාලයකින් නිමා කිරීමට සමත්ව තිබුණා.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බිබිල නන්නාපූරුව මධ්‍ය මහා විද්‍යාලයේ මධුශානි හේරත් සම්මාන දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞශල්‍ය නම් කෙරුණා.

සමස්ත කාන්තා ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට හිමි වන විට සමස්ත පිරිමි ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි වුනා.

මෙවර තරගාවලියේ එක් එක් වයස් කාණ්ඩවල ශූරතාවයන් හිමි වුනේ මෙසේයි.

  • දක්ෂතම ක්‍රීඩිකාව – මධුෂානි හේරත් (බිබිල නන්නාපූරුව මධ්‍ය මහා විද්‍යාලය)
  • හොඳම පිරිමි මලල ක්‍රීඩකයා – ඉසුරු කෞශල්‍ය (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය)
  • වයස අවුරුදු 16න් පහළ කාන්තා ශූරතාවය – අඹගමුව ම.වි.
  • වයස අවුරුදු 16න් පහළ පිරිමි ශූරතාවය – ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය – කුරුණෑගල
  • වයස අවුරුදු 18න් පහළ කාන්තා ශූරතාවය – වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය
  • වයස අවුරුදු 18න් පහළ පිරිමි ශූරතාවය – බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
  • වයස අවුරුදු 20න් පහළ කාන්තා ශූරතාවය – වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය
  • වයස අවුරුදු 20න් පහළ පිරිමි ශූරතාවය – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
  • වයස අවුරුදු 22න් පහළ කාන්තා ශූරතාවය – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
  • වයස අවුරුදු 22න් පහළ පිරිමි ශූරතාවය – මාතර රාහුල විද්‍යාලය
  • සමස්ත කාන්තා ශූරතාවය – වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය
  • සමස්ත පිරිමි ශූරතාවය – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<