ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගසන් හට වසර 40කට පසු පදක්කමක්

97
Ferguson
Courtesy – thetimes.co.uk

පාපන්දු ඉතිහාසයේ විශිෂ්ට කළමනාකරුවෙකු ලෙස හැඳින්වෙන Sir Alex Ferguson (ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගසන්) හට ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් ක්‍රීඩා සමාජය හා ලද ජයක් වෙනුවෙන් පදක්කමක් පිරිනැමීමට නියමිත බව වාර්තා වනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ රන් යුගයක් සටහන් කළ ඇලෙක්ස් ෆර්ගසන් ඔවුන් වෙනුවෙන් ප්‍රීමියර් ලීග් කුසලාන 13ක් සහ ශූරයන්ගේ කුසලාන 2ක් දිනා ගැනීමට දායක වුනා. එමෙන්ම David Beckham (ඩේවිඩ් බෙකම්), Ryan Giggs (රයන් ගිග්ස්), Paul Scholes (පෝල් ස්කොල්ස්), Gary Neville (ගැරී නෙවිල්) ආදී එංගලන්ත පාපන්දු පුරාවෘත්ත නිර්මාණය කිරීමෙහිලා පියෙකු මෙන් කටයුතු කළේ ෆර්ගසන්.

මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය හා කළමනාකරුවෙකු ලෙස එක්වීමට පෙර ඔහු ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් ක්‍රීඩා සමාජය සමඟින් කටයුතු කළා. ඒ 1978 සිට 1986 දක්වා යි. 1983දී ඔහු ඇබර්ඩීන් කණ්ඩායම යුරෝපියානු කුසලාන ජයගැනීමට මෙහෙයවූවා. එදා ඔවුන් රියාල් මැඩ්රිඩ් පරාජය කරමින් ජයගත්තා.

කෙසේ වෙතත්, යුරෝපියානු කුසලාන ජය ගැනීමෙන් පසු පදක්කම් හිමි වුනේ ඇබර්ඩීන් හි ආරම්භක ක්‍රීඩකයන් 11 දෙනාට සහ අතිරේක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පමණයි. ඉන් වසර 40කට පසුව UEFA හෙවත් යුරෝපියානු පාපන්දු සංගම් එකමුතුව විසින් තවත් පදක්කම් 6ක් අනුමත කොට තිබෙනවා. ශ්‍රීමත් ෆර්ගසන් හට ඉන් එකක් අයත් වනු ඇති.

“මේ පදක්කම ලැබීම ශ්‍රේෂ්ඨ ගෞරවයක්. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩකරපු හැම කෙනෙකුටම මම කෘතඥ වනවා,” 81 හැවිරිදි ෆර්ගසන් නිල වශයෙන් සඳහන් කර තිබුණා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<