සබරගමුව පැරද වූ දකුණේ ක්‍රීඩකයින් අවසන් මහා සටනට

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

173

රත්නපුර සීවලි විදුහල් ක්‍රීඩාංගණයේ දී අද (2) නිමා වූ නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ දෙවැනි වටයේ අවසන් පූර්ව තරගයෙන් සබරගමුව ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට දකුණු පළාත් ක්‍රීඩකයින් සමත් වුනේ අවසන් මහා තරගයේ උතුරු පළාතේ ප්‍රතිවාදීන් බවට පත් වෙමින්.

සවස 3:30ට පමණ ආරම්භ වූ තරගයේ ප්‍රථම අර්ධය ගෝල රහිතව අවසන් වන බවක් පෙනෙන්නට තිබුනත්, ප්‍රථම අර්ධයේ අතිරේක දෙවැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට දකුණු පළාත් ක්‍රීඩක කේෂාන් දුමිඳු සමත් වුනා. ඒත් සමඟින් පළමු අර්ධය නිමා වන්නේ දකුණු පළාත් ක්‍රීඩකයින් ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගනිමිනුයි.

දෙවැනි අර්ධයේ දී දකුණේ ක්‍රීඩකයින් හඹා යන්නට සබරගමුව ක්‍රීඩකයින් දැඩි තරගයක් දෙනු දක්නට ලැබුණු අතර දෙවැනි අර්ධය ආරම්භ වී 54 වැනි මිනිත්තුවේ දී දකුණේ ලකුණු පුවරුව දෙගුණ කරන්න මොහොමඩ් රිස්ලාන් සමත් වුනා.

ඒත් සමඟින් තරගයේ ජය දකුණු පළාත සතු වන බවක් පෙනෙන්නට තිබුනත්, 90 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ඉජාස් වාර්තා කළ ගෝලයත් සමඟින් තරගය දඬුවම් පහර දක්වා ඇදි ගියා. ඊට හේතු වුනේ මින් පෙර පැවති පළමු වටයේ අවසන් පූර්ව තරගයේ දී සබරගමුව ක්‍රීඩකයින් විසින් ගෝල 1-0ක් ලෙස දකුණු පළාත පරාජය කර තිබීමයි.

දඬුවම් පහර අවස්ථා අතරින් සබරගමුව ක්‍රීඩකයින් සාර්ථක කරගන්නට සමත් වුනේ එක් අවස්ථාවක් පමණයි. එම්. එන්. දේශප්‍රිය විසින් සාර්ථක කර ගත් එම දඬුවම් පහරට පසුව අනෙක් දඬුවම් පහර 2ම දක්ෂ ලෙස වළක්වන්නට දකුණේ ගෝල රකින ක්‍රීඩක, කණ්ඩායම් නායක රාසික් රිෂාඩ් සමත් වුනා.

ලැබුණු දඬුවම් පහර 4න් 4ම සාර්ථක කර ගත් දකුණු පළාත් ක්‍රීඩකයින් අවසානයේ දී දඬුවම් පහර 4-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා අසුන් වෙන් කරවා ගත්තා.

අවසන් ලකුණු තත්වය: සබරගමුව පළාත 1 (1) – 2 (4) දකුණු පළාත

ගෝල ලාභීන්:

  • සබරගමුව: මොහොමඩ් ඉජාස් (90’)
  • දකුණ: කේෂාන් දුමිඳු (45+2’), මොහොමඩ් රිස්ලාන් (54’)

තරගාවලියේ අවසන් මහා තරගය යාපනය දුරේඅප්පා ක්‍රීඩාංගණයේ දී මාර්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<