ඩී. එස්. ක්‍රීඩකයින් වැස්සේ ජය පැන් බොයි

1346

සත්කාරක කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින්ගේ සිහින බොඳ කරමින් “2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවය” යටතේ අද (04) පැවති තරගයෙන් ආගන්තුක කොළඹ ඩී. එස්. ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූයේ ලකුණු 22-10ක් ලෙසයි.

පීතරයින්ගෙන් විද්‍යා ක්‍රීඩකයින්ට හොඳ සංග්‍රහයක්

පාසල් රග්බි නිවාඩුව අවසන් කරමින් 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටය ඊයේ (01) ආරම්භ විය. එහි දී පළමු…….

පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කිහිප වරක් කල් ගිය මෙවර ලීග් තරගාවලිය, මේ සතියේ දී ආරම්භ වූයේ බ්‍රැඩ්බි පලිහේ ප්‍රථම අදියර සහ කුසලාන ශූරතාවයේ තරග දෙකක් සමඟිනි.

සවස 4ට තරගය ආරම්භ කරන්නට නියමිතව තිබුණ ද, කුරුණෑගල මලියදේව විදුහල් පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගාරම්භය සිදු වූයේ සවස 4.17ට පමණය.

තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් සත්කාරකයින් ලකුණු රැස්කරන්නේ ඔවුන්ට හිමි වූ දඬුවම් පහරක් ඇසුරෙනි. තරගය ආරම්භ වී මිනිත්තු 5ක් පමණ (ප.ව. 4.22) ගත වන විට ලැබුණු එම දඬුවම් පහර සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරන්නට කෞෂල්‍ය ගුණවීර සමත් විය. (03-00)

ඉන්පසුව ඩී. එස්. ක්‍රීඩකයින්ගේ ජයග්‍රාහී රංගන ආරම්භ කරමින් ඩී. එස්. අංක 5 ක්‍රීඩක මල්ෂාන් විමුක්ති උත්සාහක දිනුම් සීමාව පසුකර යන්නේ 18 වැනි මිනිත්තුවේ දීයි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (03-05)

ඉන්පසු මිනිත්තු 10ක් යන්නටත් මත්තෙන් ඩී. එස්. ක්‍රීඩකයින් වාර්තා කළ දෙවැනි උත්සාහ දිනුම සාර්ථක කරගන්නට වින්ග් ක්‍රීඩක ලලංක විජේසුන්දර සමත් විය. මෙහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නට ඩී. එස්. ක්‍රීඩකයින්ට නොහැකි විය. (03-10)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එක් පූර්ණ උත්සාහක දිනුමක පිටුපසින් සිටි සත්කාරකයින් තවත් පසුපසට ඇද දමමින් තරගයේ 30 වැනි මිනිත්තුවේ දී ඩී. එස්. ක්‍රීඩක දිනූප සෙනෙවිරත්න ධවල රේඛාව පසුකර යන්නට සමත් වූ අතර ඊට උපරිම සාධාරණයක් ඉෂ්ට කරමින් සාරංග උඩවත්ත ප්‍රවර්තනය සාර්ථක කරගත්තේ කණ්ඩායම් දෙක අතර පූර්ණ උත්සාහක දිනුම් 2ක ලකුණු පරතරයක් ඇති කරමිනි. (03-17)

කෙසේ නමුත් ඩී. එස්. ක්‍රීඩකයින්ගේ ආධිපත්‍යයට නතුව සිටි මලියදේව ක්‍රීඩකයින්ට ප්‍රථම අර්ධය අවසන් වන තෙක් කිසිදු ලකුණක් වාර්තා කරගන්නට හැකි වූයේ නැත.

ප්‍රථම අර්ධය: මලියදේව විදුහල 03 (1P) – 17 (3T, 1C) ඩී. එස්. සේනානායක විදුහල

තරගය මුළුල්ලේම වැස්සෙන් කණ්ඩායම් දෙකටම පීඩා විඳින්නට සිදු වූ අතර දෙවැනි අර්ධයට කණ්ඩායම් දෙක අවතීර්ණ වූයේ ද වර්ෂාව මධ්‍යයේයි.

කෙසේ නමුත් දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව නැවතත් තරගයට අවතීර්ණ වූ ඩී. එස්. ක්‍රීඩකයින් සවස 5.23ට පමණ සිය සිව්වැනි උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. සාර්ථකව දෙවැනි වතාවටත් ධවල රේඛාවෙන් පන්දුව එපිටට රැගෙන ගිය ලලංකගේ උත්සාහයට අතිරේක ලකුණු දෙක එකතු කරගන්නට ඩී. එස්. කණ්ඩායමට නොහැකි විය. (03-22)

යුද පිටියෙන් රග්බි පිටියට

ශ්‍රී ලංකා රග්බි ජාතික සංචිතයට මෙවර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් තේරී පත්වී ඇත. ඒ නමින් ප්‍රභාත් කුමාර, අශාන්……

කෙසේ නමුත් මෙතුවක් වේලාවක් සිය විදුහලේ ලකුණු පුවරුව ඉහළ දමන්නට මාන බලමින් සිටි මලියදේව ක්‍රීඩකයින් අතරින් ක්‍රියාත්මක වූ 2nd Row ක්‍රීඩක සිතික හේරත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. එම උත්සාහ දිනුමට සාධාරණයක් ඉෂ්ට කරමින් ගුණවීර විසින් අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (10-22)

ක්‍රීඩා පිටියට ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටියම මඩ ගොහොරුවක් බවට පත්ව තිබූ අතර තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් කණ්ඩායම් දෙකේම ලකුණු පුවරුව නොවෙනස්ව පැවතුණි.

ඒ අනුව නියමිත කාලය අවසානයේ ඩී. එස්. ක්‍රීඩකයින් සාර්ථකව තරගය අවසන් කළේ, දීර්ඝ විවේකයකට පසු නැවතත් පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයින්ට ලකුණු 12 පරාජයක් උරුම කර දෙමිනි. මලියදේව විදුහල සහ ඩී. එස්. සේනානායක විදුහල පළඟ ශූරතාවයේ සහභාගී වූ ප්‍රථම තරගය වන්නේ මෙම තරගයයි.

අවසන් ලකුණු තත්වය: මලියදේව විදුහල 10 (1T,1C1P) – 22 (4T, 1C) ඩී. එස්. සේනානායක විදුහල

ThePapare.com තරගයේ වීරයා: ලලංක විජේසුන්දර (ඩී. එස්. සේනානායක විදුහල)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්.

  • මලියදේව විදුහල: කෞෂල්‍ය ගුණවීර (1P, 1C), සිතික හේරත් (1T)
  • ඩී. එස්. විදුහල: මල්ෂාන් විමුක්ති (1T), ලලංක විජේසුන්දර (2T), සාරංග උඩවත්ත (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<