එංගලන්ත ක්‍රීඩිකාවන් ජයග්‍රහණයක් සමගින් තරගාවලිය අරඹයි

232
SLvENG 1st ODI

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද SSC පිටියේදී පැවති ප්‍රථම එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50ක් තුලදී රැස්කල මන්දගාමී ලකුණු 168 ලබා ගැනීමට ඔවුන් වැය කලේ පන්දුවාර 29යි පන්දු 3ක් පමණි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නම බේරා ගැනීමට නම්

ශ්‍රී ලංකා නව නායිකා ඉනෝකා රණවීර අද ප්‍රථම වරට කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ අතර ඇයගේ තීරණය වූයේ පිතිකරණ පාරාදීසයක් ලෙස දිස්වූ SSC තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමයි. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පිතිකාරිනියන් කිහිප දෙනෙකුම හොඳ ඇරඹුමක් ලබා ගත්තද කිසිදු ක්‍රීඩිකාවකට එය විශාල ලකුණු ප්‍රමාණයක් බවට පරිවර්තනය කිරීමට හැකි නොවීය. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ඩිලානි මනෝදරා හතරේ පහර 4ක් සමගින් ලකුණු 27යි.

ශ්‍රී ලංකා පිතිකාරිනියන් එක්දින තරගයකට උචිත නොවන තරම් අඩු ලකුණු වේගයකින් පන්දුවට පහර දීම නිසා ඔවුන්ට ඉනිම අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168කින් සෑහීමකට පත් වන්නට සිදුවිය. එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් සියලුම පන්දු යවන්නියන් තම කාර්‍යභාරය මැනවින් ඉටුකල අතර කැතරීන් බ්‍රන්ට් සහ හීතර් නයිට් කඩුලු 2 බැගින් බිඳ හෙලමින් වැඩි දස්කම් දැක්වූහ.

එංගලන්ත පිලිතුරු ඉනිම ආරම්භ වූයේ ශ්‍රී ලංකා පිතිකාරිනියන් අසීරුතාවයට පත්වූ SSC තණතිල්ලේ සැබෑ ස්වරූපය හොඳින් පෙන්වා දෙමිනි. මුල සිටම ප්‍රහාරාත්මක පිතිකරණ රටාවක් දියත් කල එංගලන්තය ක්‍රීඩිකාවන් පහසුවෙන් පහරවල් කරා එළඹෙමින් රිසිසේ ලකුණු රැස් කරන්නට විය.

ආරම්භක පිතිකාරිනියන් වශයෙන් පිටියට පිවිස ජයග්‍රහණය සඳහා පදනම දමා දුන් ලොරේන් වින්ෆීල්ඩ් ලකුණු 33ක් ද, ටම්සින් බියුමොන්ට් ලකුණු 41ක් ද රැස් කලහ. නායිකා හීතර් නයිට් නොදැවී ලකුණු 45යි. අංක හතර පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි නැටලි රූත් හතරේ පහර 7ක් සමගින් පන්දු 40ක් තුලදී නොදැවී ලකුණු 47ක් රැස් කරන ලදී. පන්දු යැවීමේදී නායිකා ඉනෝකා රණවීර සහ චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 12 වනදා ආර්. ප්‍රේමදාස පිටියේදී නැවත වරක් ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුණගැසෙන්නේ මෙම තරගාවලියේ දෙවැනි එක්දින තරගය ලෙසිනි.

ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 168 (පන්දුවාර 50): ඩිලානි මනෝදරා 27, නිපුනි හංසිකා 26, හසිනි පෙරේරා 26, කැතරීන් බ්‍රන්ට් 2/35, හීතර් නයිට් 2/29.

එංගලන්තය – කඩුලු 2ක් දැවී ලකුණු 171 (පන්දුවාර 29.3): නැටලි රූත් 47*, හීතර් නයිට් 45*, ඉනෝකා රණවීර 1/42, චමරි අතපත්තු 1/23.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

1st ODI Highlights – England Women vs Sri Lanka Women