කන්ද උඩරට පෙරළිකාරයන් – ශ්‍රී සුමංගල විද්‍යාලය

1715

1992 වසරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට හඳුන්වා දෙන ‍රග්බි ක්‍රීඩාව මුල් අවදියේ දී දැඩි බාධක රැසක් මතින් ගොඩනැගුණි. එම වසරේ පටන් දෙවැනි කාණ්ඩයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ සුමංගල විද්‍යාලය 1997 වසරේ දී පළමු කාණ්ඩය දක්වා ඉහළට පැමිණීමට සමත් වූයේ වත්මන් රග්බි සභාපති සිදත් චන්ද්‍රරත්න මහතා නායකත්වය දරන සමයේ වීම විශේෂත්වයකි. වසර 3කට පසු 2000 වසරේ දී නැවතත් දෙවැනි කාණ්ඩය දක්වා පසුබැසීමට සුමංගල විද්‍යාලයට සිදු වූ අතර 2016 දක්වා ඔවුන් එම කාණ්ඩයේ ක්‍රීඩා කළේය.

ගිලිහුණු ගෞරවය යලි සොයා යන්නට ධර්මරාජ රග්බි හමුදාව සූදානම්

අවාසනාවන්ත තරග වාරයකට පසුව මහනුවර …

රග්බි ක්‍රීඩාව ආරම්භ කළ අවදියේ එතරම් සාර්ථක නොවූ සුමංගල විද්‍යාලයට රග්බි වසන්තය උදාවන්නේ 2016 වසරේ දී ය. එම වසරේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවන කාණ්ඩයේ ක්‍රීඩා කළ සුමංගල විද්‍යාලය එහි ශූරතාවය දිනා ගැනීමත් සමඟම එම කාණ්ඩයේ ඉහළටම පැමිණියේය.

2016 වසරේ සිට මේ දක්වා තමන් ක්‍රීඩා කළ කාණ්ඩ සියල්ලකම ශූරතාවය දිනා ගත් ඔවුන් 2019 වසරේ පළමු කාණ්ඩයේ B කණ්ඩායම් අතරට එක්වන්නේ මේ දක්වා ඔවුන් ලබා ගත් ඉහළම ජයග්‍රහණය වාර්තා කරමිනි. මේ දක්වා ඔවුන් පැමිණි ගමන එතරම් සුවදායක නොවූ අතර කණ්ඩායමට අවශ්‍ය සියලු දේ තමන්ට හැකි අයුරින් සපයා දීමට විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපියන් ක්‍රියා කලේ කණ්ඩායම පිළිබඳව ඇති විශ්වාසය නිසාවෙනි.

2016 වසරේ විද්‍යාලයට රග්බි පුහුණුකරු ලෙස පැමිණෙන B. M. M. ධර්මපාල මහතා විද්‍යාලයේ ‍රග්බි ක්‍රීඩාව ගොඩගැනීමට මහත් දායකත්වයක් දක්වන අතර එම වසරේ සිට මේ දක්වා ඔවුන් ලබා ගත් සියලු ජයග්‍රහණ පසුපස සිටි අයෝමය ශක්තිය ද ඔහුයි.

මෙවර රග්බි සූදානම පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූ ප්‍රදාන පුහුණුකරු ධර්මපාල මහතා,

“2016 මම මේ විද්‍යාලයට එනකොට ළමයි 6යි හිටියේ. මම ඇවිල්ලා ළමයි හොයාගෙන කණ්ඩායමක් හදලා තමයි ඒ අවුරුද්දේ ලීග් එකට ගියේ. මම හිතපු නැති විදිහට ඒ අවුරුද්දේ ලීග් එක දිනුවා. පස්සේ තමයි රග්බිවලට මෙහෙ තැනක් හැදුණේ. හැම අවුරුද්දකම අපේ ක්‍රීඩකයෝ වෙන කණ්ඩායම්වලින් ගන්න උත්සාහ කරනවා. ඒත් අපි කොහොමහරි කණ්ඩායම හදාගෙන තරග කරනවා. අපි දැන් එක දිගට අවුරුදු 3ක්ම ගහපු හැම ලීග් එකම දිනුවා. මේ අවුරුද්දෙත් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය 2020 දී A Division සෙල්ලම් කරන්න. කණ්ඩායම ගැන මට විශ්වාසයි. පුළුවන් උපරිමය කරනවා.”

2018 වසරේ පැවති ලීගයේ ඡායාරූපයක්.

මෙවර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන අමේශ් ඩිල්ශාන්ට පැවරී ඇති අතර ඔහු මේ ක්‍රීඩා කරන්නේ 4වන වරටයි. ThePapare.com වෙත අදහස් දැක්වූ නායක අමේශ්,

“2016 ඉඳන් අපි ලොකු ගමනක් ආවා. ගොඩක් අමාරු වෙලාවල් තිබ්බා. ඒත් අපි අපිට පුළුවන් දේ කළා. ධර්මපාල සර් හැමවෙලේම අපි එක්ක කතා කරලා අපිට ඕනෙ දේවල් බලලා ඒවා කරනවා. විදුහල්පති, දෙමව්පියන්, ආදි ශිෂ්‍ය සංගමය අපිට ගොඩක් උදව් කරනවා. ධර්මපාල සර් අපිට 2020 දී A Division එන්න ඉලක්කය දීලා තියෙන්නේ. ඒත් මම හිතනවා අපිට මේ ඉන්න කණ්ඩායමත් එක්ක මේ අවුරුද්දේම ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අලුත් සර්ලා දෙන්නෙක් දැන් අපිත් එක්ක ඉන්නවා. සර්ලගේ උපරිම දායකත්වය ‍එක්ක කණ්ඩායම හොඳ විනයක් එක්ක තරගාවලියට එක්වෙනවා.”

නව බලාපොරොත්තු රැසක් සමඟින් සහිරා කණ්ඩායම යුධ පිටියට

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන…..

කණ්ඩායම සතු දක්ෂ ක්‍රීඩකයෙක් වන උමේශ් වීරකෝන් මෙවර කණ්ඩායමේ උපනායකත්වය දරන්නේ නායක අමේශ්ට විශාල සහයක් ලබා දෙමිනි. Full Back ස්ථානයේ ක්‍රීඩා කරන ඔහුගේ දස්කම් කණ්ඩායමේ සාර්ථකත්වයට මනා දායකත්වයක් දක්වයි.

අමේශ් ඩිල්ශාන්, ශෙහාන් ලක්ශිත, මොහොමඩ් මනාස් ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට එක්ව සිටින අතර මැදපෙළ ක්‍රීඩකයන් ලෙස මිලාන් අවිශ්ක, කාවින්ද වික්‍රමසිංහ, ක්‍රිශාන් ආදිත්‍ය, චමුදිත තිලකරත්න ඉසුරු බණ්ඩාර සමගින් මනූෂ කාවින්ද ක්‍රීඩා කරයි. Fly Half ස්ථානයේ වගකීම චමත් රුචික විසින් ඉටු කරන අතර ඔහුට සහය වෙමින් රුක්ෂාන් ‍රාජපක්ෂ හා සංදීප ලක්ශාන් Center ස්ථානවල ක්‍රීඩා කරයි. කණ්ඩායමේ Wing ස්ථාන දෙක අකිල මඩවලට හා ඉන්දික රාමනායකට හිමි වී ඇත.

  • රග්බි සභාපති – සිදත් චන්ද්‍රරත්න
  • කණ්ඩායම් කළමනාකරු – බුද්ධික ප්‍රනීත්
  • ශාරීරික පුහුණුකරු – අකලංක වැල්ලගේ
  • ප්‍රදාන පුහුණුකරු – බී. බී. එම්. දර්මපාල
  • උප ප්‍රදාන පුහුණුකරු – සුරංග කොඩිතුවක්කු
  • කණ්ඩායම් බාර ආචාර්ය – ශ්‍රීනාත් ද සිල්වා සහ පී. කේ. ආර්. ප්‍රසාද්

2016 වසරේ සිට මේ දක්වා ජයග්‍රාහී ගමනක යෙදී සිටින මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට මෙම වසරේත් තරගාවලිය ජයග්‍රාහී ලෙස නිමා කිරීමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්.

සුමංගල විද්‍යාලයේ තරග කාලසටහන

  • පෙබරවාරි 28 – ආනන්ද විද්‍යාලය – දිගන ක්‍රීඩා සංකීර්ණය
  • මාර්තු 9 – ලුම්බිණි ‍රාජකීය විද්‍යාලය – ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • මාර්තු 15 – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • මාර්තු 24 – ඩී. එස්. සේනානායක විද්‍යාලය – ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • මාර්තු 31 – රිච්මන්ඩ් විද්‍යාලය – ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<