දිනුක් හා සශාන් නාවිකයෝ මුහුදුබත් කරයි

890

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තය ආරම්භ කරමින් අපරාජිත හැව්ලොක් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අද (23) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර තියුණු සටනකට පසු ලකුණු 22-18ක් ලෙස සිය තෙවන ජයත් වාර්තා කරන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

උසාවි නියෝගයකින් විදෙස් ක්‍රීඩකයින්ට තහනමක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය වෙත අද (23) උසාවි නියෝගයක් නිකුත් කෙරුණි.

පසුගිය සති අන්තයේ දී CR&FC ක්‍රීඩා සමාජය හමුවේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට පරාජය වන්නට සිදු වූ අතර තියුණු තරගයකට පසු CH&FC කණ්ඩායම හමුවේ එක් ලකුණක ජයක් වාර්තා කරන්නට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

හැව්ලොක් ක්‍රීඩා පිටියට ඇද හැලුණු දැඩි වර්ෂාව මධ්‍යයේ රීසා මුබාරක්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර කණ්ඩායම් දෙකම පන්දුවට පා පහර දෙමින් ප්‍රතිවාදීන් ආක්‍රමණය කිරීමට යොමු වූයේ දැඩි වර්ෂාව නිසයි.

6 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයට තරගයේ පළමු දඬුවම් පහර හිමි වූ අතර නාවික හමුදා නායක තිළිණ විරසිංහ ඉතා පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කරගත්තේ නාවික හමුදාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි. (හැව්ලොක් 00-03 නාවික)

12 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් සිය උත්සාහක දිනුම් සීමාව ආසන්නයටම යාමට සමත් වුවත් අවසන් මොහොතේ ඔවුන් කළ අතපසුවීමක් නිසා හැව්ලොක් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි විය. අනතුරුව මෙතෙක් වේලා නිහඬව සිටි හැව්ලොක් ක්‍රීඩා සමාජය නාවික හමුදා අර්ධයට ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් 20 වන මිනිත්තුවේ ඔවුන් ද ලද අවස්ථාවක් වතුරේ යැව්වේ ධවල රේඛාව ආසන්නයේ පන්දුව ‘Knock On’ අවස්ථාවකට පත් කරමිනි.

26 වන මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයට නාවික හමුදා අර්ධයේ ‘Scrum’ අවස්ථාවක් හිමි වූ අතර පසුපෙළේ පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු දිනුක් අමරසිංහ ප්‍රතිවාදීන් නොමග යවමින් ඉමංග ආරියපාල වෙත අලංකාර පන්දු යොමු කිරීමක් සිදු කරද්දී, ඉමංග තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (හැව්ලොක් 07-03 නාවික)

රහල් සහ රීසා, මධුවන්තගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තය අරඹමින් ප්‍රබල කණ්ඩායම් දෙකක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය…

හැව්ලොක් ආක්‍රමණය පිළිතුරක් සෙවූ නාවිකයින්ට 31 වන මිනිත්තුවේ දී තවත් දඬුවම් පහරක් හිමි වූ අතර තිළිණ වීරසිංහ ඉතා පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් යවන්නට සමත් විය. (හැව්ලොක් 07-06 නාවික)

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු හැව්ලොක් කණ්ඩයම වෙනුවෙන් දිනුක් අමරසිංහ නැවත වතාවක් ක්‍රියාත්මක වූ අතර ඔහුගේ අනගි පන්දු යොමු කිරීමක් ග්‍රහණය කර ගත් සශාන් මොහොමඩ් 37 වන මිනිත්තුවේ දී දෙවන හැව්ලොක් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රීසා මුබාරක් හට අමතර ලකුණු එකතු කිරීමට හැකි වූයේ නැත. (හැව්ලොක් 12-06 නාවික)

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 12 – 06 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම සුළු අත්වැරදීම් වලින් පන්දුව ප්‍රතිවාදීන්ට පූජා කළ අතර 47 වන මිනිත්තුවේ දී දිනුක් අමරසිංහ හට කහ කාඩ්පතක් හිමි වූයේ නාවිකයින්ට පැහැදිලි වාසියක් අත් කර දෙමිනි.

දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව ක්‍රීඩකයින්ගේ සුපුරුදු වේගවත් ක්‍රීඩා විලාසය පවත්වා ගෙන යාමට ප්‍රබල බාධාවක් විය. කෙසේ වෙතත් 55 වන මිනිත්තුවේ යළිත් ක්‍රියාත්මක වූ සශාන් මොහොමඩ් වේගවත් ධාවනයක යෙදෙමින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ නාවික හමුදා ක්‍රීඩකයින් දැඩි පීඩනයකට ඇද දමමිනි. රීසා මුබාරක් ඉතා අපහසු ප්‍රවර්තනයක් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (හැව්ලොක් 19-06 නාවික)

නාවික හමුදා ඉදිරිපෙළ පීඩනයෙන් මිදීමේ අරමුණින් පියවරින් පියවර පන්දුව සමඟ ඉදිරියට ඇදුණු නමුත් අවසන් මොහොතේ ‘Forward Pass’ අවස්ථාවක් නිසා නාවික හමුදා ක්‍රීඩකයින්ට අනගි අවස්ථාවක් අහිමි විය. අනතුරුව නාවික හමුදා ක්‍රීඩකයෝ දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර තිළිණ වීරසිංහ දක්ෂ ධාවනයක් සමගින් 66 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් 19-12 නාවික)

එම උත්සාහක දිනුමත් සමඟ නැවතත් සුපුරුදු රිද්මයට පිවිසුණු නාවිකයෝ වේගවත් ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වූයේ හැව්ලොක් ක්‍රීඩකයින් පසු පාදයට ඇද දමමිනි. හැව්ලොක් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හමුවේ නාවික හමුදා ක්‍රීඩකයින් ඉදිරියටම ඇදුණු අතර 76 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩකයින් තරගයේ වැදගත්ම උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ ලකුණු පරතරය එක ලකුණකට අඩු කර ගනිමිනි. චරිත් සිල්වා එම උත්සාහක දිනුම වාර්තා කළ අතර තිළිණ වීරසිංහගේ පා පහර ගෝල කණුවක වැදී ගෝල කණු අතරින් ගියේ නාවික හමුදා ප්‍රේක්ෂකයින් ගේ අපේක්ෂා දල්වමිනි. (හැව්ලොක් 19-18 නාවික)

78 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට ඉතා වැදගත් දඬුවම් පහරක් හිමි වූ අතර ප්‍රින්ස් චාමර ඉතා පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කර ගත්තේ තරගයේ ජය හැව්ලොක් ක්‍රීඩා සමාජයට හිමි කර දෙමිනි. (හැව්ලොක් 22-18 නාවික)

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 22 (3T, 2C, 1P)-18 (2T, 1C, 2P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare. com තරගයේ වීරයා – දිනුක් අමරසිංහ

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – ඉමංග ආරියපාල (1T), රීසා මුබාරක් (2C), සශාන් මොහොමඩ් (2T), ප්‍රින්ස් චාමර (1P)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – තිළිණ වීරසිංහ (1T, 2P, 1C), චරිත් සිල්වා (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<