රිචී හා රදීශ නාවිකයින්ට ජය ගෙන එයි

507

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (7) යුධ හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ලකුණු 29 -14 ක් ලෙස ජය හිමි කර ගත්තේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි.

රිචී හා රදීශ නාවිකයින්ට ජය ගෙන එයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (7).

දෙවන අර්ධය පුරාම යුධ හමුදාව ලකුණු රැස් කිරීමට උත්සහ කළත් ඔවුන්ගේම අතපසු වීම් නිසා ඉතා ආසන්න අවස්ථා පහකට වඩා ඔවුන්ට අහිමි වීම යුධ හමුදාවට ප්‍රබල බලපෑමක් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් අශාන් බණ්ඩාර පා පහර දෙමින් තරගය ආරම්භ කළ අතර නාවික හමුදා නායක ප්‍රබල ක්‍රීඩක තිළිණ වීරසිංහ අද තරගයට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයක්.

පළමු මිනිත්තු කිහිපයේ යුධ හමුදා ක්‍රීඩා සමාජය ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේ නාවික හමුදා ක්‍රීඩකයින් පීඩනයට ලක් කරමිනි. යුධ හමුදා ක්‍රීඩකයින්ට මීටර 5 සීමාවේ Line out අවස්ථාවක් හිමි වූ අතර එය සාර්ථක කර ගත් යුධ හමුදා ඉදිරිපෙළ තුන්වැනි මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අරවින්ද කරුණාරත්න එම උත්සාහක දිනුමට හිමි කම් කියූ අතර ගයාන් සාලින්ද අලංකාර ලෙස එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (නාවික 00-07 යුධ)

පෙර තරගයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජය CH&FC ක්‍රීඩා සමාජය පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කළ අතර එහි දී ද ඔවුන්ගේ උපක්‍රමය වූයේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් Rolling Maul අවස්ථා සාර්ථක කර ගැනීමයි.

යුධ ප්‍රහාරයට සාර්ථක පිළිතුරක් ලබා දෙන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වූයේ 13  වන මිනිත්තුවේ දී. මුෂින් ෆලීල්, තනුජ මාලිම්බොඩ හා මොහොමඩ් අබ්සාල් අතර දක්ෂ පන්දු හුවමාරු කිහිපයකට පසු අබ්සාල් පළමු නාවික උත්සාහක දිනුම වාර්තා කළ අතර චතුර සෙනෙවිරත්න අමතර ලකුණු වාර්තා කිරීමට සමත් විය. (නාවික 07-07 යුධ)

තායිපේ සංචාරයට එක්වන 19න් පහළ සංචිතය නම් කෙරේ

චීන තායිපේ හීදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට …

පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමෙන් පසුව යුධ හමුදා ක්‍රීඩකයින් තරමක් මන්දගාමී වූයේ අතපසුවීමක් කිහිපයක් සිදුකරමිනි. රදීෂ සෙනෙවිරත්න දඬුවම් පහරක් ක්ෂණිකව ලබා ගනිමින් ඉදිරියට ඇදුණු අතර පියවර කිහිපයකට පසු ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක රිචී ධර්මපාල දෙවන නාවික හමුදා උත්සාහක දිනුම වාර්තා කළේ යුධ හමුදා ආරක්ෂක වළලු අතරින් රිංගා යමිනි. චතුර සෙනෙවිරත්න අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (නාවික 12-07 යුධ)

අනතුරුව scrum අවස්ථාවක් සාර්ථක කර ගනිමින් 25 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩකයින් නැවතත් ක්‍රියාත්මක වූ අතර අබ්සාල්, ෆලීල් හා රදීෂ සෙනෙවිරත්න අතර අලංකාර පන්දු හුවමාරුවකින් පසු නාවික හමුදාව තෙවන වරටත් ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. චතුර ඉතා පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (නාවික 19-07 යුධ)

පන්දු හුවමාරුවේ දී යුධ හමුදා ක්‍රීඩකයින් දිගින් දිගටම අතපසුවීම් සිදු කළ අතර එය ඔවුන්ට දැඩි අවාසියක් විය. යුධ හමුදාවට අර්ධයේ දඬුවම් පහර අවස්ථා කිහිපයක්ම හිමි වූ නමුත් ඔවුන් ඒවා ලකුණු බවට පරිවර්තනය කරන්නට තීරණය කළේ නැත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

36 වන මිනිත්තුවේ දී යුධ හමුදා ක්‍රීඩකයින් යලිත් ආක්‍රමණයක් දියත් කළේ පන්දුව තමන් සතුවම තබා ගනිමිනි. අදියර කිහිපයක් උත්සහ කිරීමෙන් අනතුරුව ධනුෂ්ක පුෂ්පකුමාර යුධ හමුදාව වෙනුවෙන් ඉතා වැදගත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (නාවික 19-14 යුධ)

යුධ හමුදා ක්‍රීඩකයින්ට ප්‍රබල පිළිතුරක් ලබා දීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වූයේ පළමු අර්ධය අවසන් වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. මොහොමඩ් අබ්සාල් දක්ෂ ධාවනයක යෙදෙමින් යුධ හමුදා ක්‍රීඩකයින් පසු කර ගිය අතර පන්දු හුවමාරු කිරීම් දෙකකට පසු රදීශ සෙනෙවිරත්න සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරන ලදි. කෙසේ වෙතත් අබ්සාල් පන්දුව Knock On අවස්ථාවකට ලක් කළ බව සිතා යුධ හමුදා ක්‍රීඩකයින් මදක් මන්දගාමී වූ අතර ඒ අවස්ථාවෙන් නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු රැස් කිරීමට සමත් විය. චතුර සෙනෙවිරත්න එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (නාවික 26-14 යුධ)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 26 – 14 යුධ හමුදා ක්‍රීඩා සමාජය

පළමු අර්ධය මෙන්ම දෙවන අර්ධය ද සාර්ථක ලෙස ආරම්භ කරන්නට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර දෙවන අර්ධයේ මිනිත්තු 30කටත් වඩා ඔවුන් නාවික හමුදා අර්ධයේ ක්‍රීඩා කළත් ඔවුන්ට ලකුණු රැස් කිරීමට නොහැකි වීම විශේෂත්වයක් විය. නාවික හමුදා ක්‍රීඩකයින් වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම යුධ හමුදා බලාපොරොත්තු බිඳ දැමුවේ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරමිනි.

51 වන මිනිත්තුවේ නාවික හමුදා ක්‍රීඩක චරිත ද සිල්වා හට කහ කාඩ්පතක් හිමි වූයේ යුධ හමුදාවට අනගි වාසියක් හිමි කර දෙමිනි.

එහි වාසිය මැනවින් ලබා ගත් යුධ හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව ආසන්නයටම යාමට සමත් වුවත්, දෙවරක්ම පන්දුව knock on අවස්ථාවකට ලක්වීම නිසා ඔවුන්ට ඉතා අනගි අවස්ථාවන් අහිමි විය. කෙසේ වෙතත් දෙවන අර්ධයේ පළමු මිනිත්තු විස්ස පුරාම යුධ හමුදා ක්‍රීඩකයින් නාවික හමුදා අර්ධයේ රැඳී සිටින්නට සමත් විය.

65 වන මිනිත්තුවේ දී හා 70 වන මිනිත්තුවේ දී යුධ හමුදා ප්‍රධානතම තුරුම්පු වූ සුගත් නානායක්කාර හා සුදාරක දික්කුඹුර කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත් වූයේ යුධ හමුදාව දැඩි අර්බුදයක හෙලමිනි.

77 වන මිනිත්තුවේ දී යුධ හමුදා ක්‍රීඩකයින් Rolling Maul අවස්ථාවක් මගින් පන්දුව නැවතත් උත්සාහක දිනුම් සීමාව ආසන්නයට රැගෙන යන්නට සමත් වුවත් නාවික හමුදා ආරක්ෂක වළල්ල ඔවුන්ට සාර්ථක වන්නට ඉඩ ලබා දුන්නේ නැත.

කෙසේ වෙතත් තරගය සාර්ථකව ලකුණු සමගින් අවසන් කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර ඒ 80 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. (නාවික 29-14 යුධ)

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 29 (4T, 3C, 1P) -14 (2T, 2C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – රිචී ධර්මපාල (නාවික)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – අරවින්ද කරුණාරත්න (1T), ගයාන් සාලින්ද (2C), ධනුෂ්ක පුෂ්පකුමාර (1T)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – චතුර සෙනෙවිරත්න (3C, 1P), මොහොමඩ් අබ්සාල් (1T), රිචී ධර්මපාල (1T), රදීෂ සෙනෙවිරත්න (2T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<