Rutherfordගේ ප්‍රවේගකාරී ඉනිම Desert Vipers ජය තහවුරු කරයි

ILT20 2023

218

ILT20 තරගාවලියේ 25 වැනි තරගය ලෙස ඊයේ (02) පැවැත්වුණු Desert Vipers සහ Dubai Capitals කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 22ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Desert Vipers සමත් වුනා.

මෙම තරගයේ දී Desert Vipers නියෝජනය කරමින් වනිඳු හසරංග තරගයට ක්‍රීඩා කළ අතර, Dubai Capitals නියෝජනය කරමින් දසුන් ශානක සහ චාමික කරුණාරත්න තරගයට සහභාගී වුනා.

මෙහි දී තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Desert Vipers නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත් වූ අතර එහි දී Sherfane Rutherford සහ Sam Billings විසින් Vipers වෙනුවෙන් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුනා.

තවද Capitals වෙනුවෙන් තරගයේ 16 වැනි පන්දුවාරය යොමු කළ Yusuf Pathanගේ අවසන් පන්දු පහටම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Sherfane Rutherford විසින් පිට පිට හයේ පහර පහක් එල්ල කිරීමට ද සමත් වුනා.

මීට අමතරව Vipers වෙනුවෙන් වනිඳු ලකුණු 14ක් රැස් කළ අතර, capitals වෙනුවෙන් චාමික කරුණාරත්න පන්දු යැවීමේ දී ලකුණු 31කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Dubai Capitals වෙනුවෙන් Sikandar Raza ලකුණු 41ක් සහ Rovman Powell ලකුණු 33ක් ලබා ගත් අතර, දසුන්ට සහ චාමිකට පිළිවෙළින් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 11ක් සහ 10ක් පමණයි.

මෙහි දී නැවතත් Vipers වෙනුවෙන් පන්දු යැවීමෙන් සාධනීය මෙහෙවරක් ඉටු කළ වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුල දී ලකුණු 25ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ගිය Capitals කණ්ඩායමට රැස් කිරීමට හැකි වුනේ ලකුණු 160ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් දැනටත් ILT20 තරගාවලියේ Play – Off තරග වටයට සුදුසුකම් ලබා ඇති Vipers තවදුරටත් ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ ද රැඳී සිටීමට සමත් වනවා.

එමෙන්ම මෙතෙක් තරගාවලිය තුල කඩුලු 11ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා. එහි පළමු ස්ථානය කඩුලු 13ක් දවා ගෙන ඇති Gulf Giants කණ්ඩායමේ Chris Jordan හට හිමි වී තිබෙනවා.

තරගාවලියේ 26 වැනි තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද (03) රාත්‍රි 7.30ට Abu Dhabi Knight Riders සහ MI Emirates කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<