Umar Akmal නැවතත් ක්‍රිකට් පිටියට?

180
(cricinfo)

ක්‍රීඩා ආශ්‍රිත ගැටලු නිරාකරණය සඳහා පිහිටවූ විශේෂ අධිකරණය විසින් (Court of Arbitration for Sports) පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක Umar Akmalට පැනවූ තරග තහනම මාස 6කින් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. 

ඔහුට මාස 18ක තරග තහනමක් පැනවුණේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ චර්යා ධර්ම සංග්‍රහයේ සඳහන් පරිදි ඔහුට යෝජනා වූ තරග පාවාදීමට අදාළ දූෂණ ක්‍රියා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා කිරීමට අසමත් වීම පාදක කරගෙනයි. 

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය Umar Akmalට තරග තහනමක් පැනවූයේ පසුගිය වසරේ පෙබරවාරි 20 වැනිදායි. තරග තහනමට අමතරව ඔහුට පාකිස්තාන රුපියල් මිලියන 4.25ක දඩ මුදලක් හා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන චර්යාධර්ම පද්ධතිය පිළිබඳව පුනරුත්තාපන වැඩසටහනකට සහභාගී වීමට ද නියම වුනා.

Akmal ඔහුට මුලින් ලැබුණු දඬුවම පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එය සලකා බැලූ ක්‍රීඩා ආශ්‍රිත ගැටලු නිරාකරණය සඳහා පිහිටවූ විශේෂ අධිකරණය ඔහුගේ දඬුවම් කාලය ලිහිල් කර තිබුණා. කෙසේ වෙතත් Umar Akmal විසින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් භාරයට ගත් සිය දුරකථන දෙක නැවත ඉල්ලා තිබුණු අතර එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.  

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය වසරේ පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය ආරම්භ වීමට පැය කිහිපයක් තිබෙද්දී Umar Akmalට තරග තහනම පනවන්නට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබුණා. ඒ තරග පාවාදීමට ඔහුට ඉදිරිපත් වූ යෝජනාවක් වාර්තා කිරීමට අසමත් වූයේ යැයි පවසමින්. “Umar Akmal වැරැද්දක් කළා කියන්න කිසිම සාක්ෂියක් ඔවුන් සතුව නැහැ. මේ නඩුව ඉදිරියට ක්‍රියාත්මක වුනේ දුරකථන ඇමතුමක් ප්‍රධාන කරගෙනයි. කිසිම ලිපිගොනුවක්, බැංකුවල මුදල් හුවමාරු වීමේ සාක්ෂියක් ඔවුන් සතුව නැහැ” Umar Akmalගේ නීතිඥයා පවසා තිබුණා.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය Umar Akmalගේ තරග තහනම අඩු කිරීමට විරුද්ධව අධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් සූදානම් වන බව වාර්තා වෙනවා.

“මම නැවත ක්‍රීඩා කරන්න සුදානම්” Umar Akmal මාධ්‍ය හමුවේ පවසා තිබුණා. “ගෙදරට වෙලා ඉන්න එක බොහොම අමාරු දෙයක් වුනා. මම මගේ පවුලට හා දෙවියන්ට ස්තුති කරනවා මට නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන්නට උදව් කළාට.”

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<